පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ නියෝගයෙන් පසු ආණමඩුවේ ගුටි බැට හුවමාරුවක්

  👤  1242 readers have read this article !
By mawbima 2018-11-15

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණ නියෝගය නිකුත් වීමත් සමඟ ආණමඩුව නගරයට රැස්වූ දෙපිරිසක් අතර හටගත් ගුටි බැට හුවමාරුවකින් තිදෙනකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇත.

පෙරේදා (13දා) පස්වරුවේ මේ ගුටි බැට හුවමාරුව සිදුව තිබේ.

මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ ආණමඩුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ තම පක්ෂයේ පුවරු කීපයක් කඩා දමා එක්සත් ජාතික පාක්ෂිකයන් ඔවුන්ගේ ප්‍රචාරක පුවරු කීපයක් සවිකිරීමට යෑමේදී මේ ගැටුම හට ගෙන ඇති බවයි. මේ අවස්ථාවේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මේ ස්ථානයට පැමිණ ඇති අතර හිටපු අමාත්‍ය රංගේ බණ්ඩාර හා ඔහුගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහත්වරුන්ද පැමිණ තිබේ. ගැටුම වන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද මේ ස්ථානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ ගැටුමින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයකු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකි. මේ ගැටුමේදී වාහනයකටද අලාභහානි සිදුව ඇති අතර එම වාහනය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එහි තිබී මන්නා පිහියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මේ පිළිබඳව විමසීම සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා දුරකථනයෙන් සමබන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු පාර්ලිමේන්තුවේ සිටින බව ආරක්ෂක නිලධාරීන් දැනුම් දෙන ලදී.
ආණමඩුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon