අපරාධ රැසකට සම්බන්ධ අඹ සුජී අත්අඩංගුවට

  👤  2499 readers have read this article !
By mawbima 2018-11-16

තංගල්ල - සහම්පති මානගේ


පුද්ගල ඝාතන දෙකක් සිදු කිරීම හා පුද්ගල ඝාතන තුනක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධීන් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන 'අඹ සුජී' නොහොත් ජුලම්පිටිය ගමගේ සජිත් කුමාර නම් තැනැත්තකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15දා) ගිනි අවියක් සහ ජීව පතරොම් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.


පසුගිය සැප්තැම්බර් මස 23 දින තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ පිහිටි වාහන සේදුම් ස්ථානයක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම පුද්ගලයා බව පොලිසිය කියයි.


කුරුණෑගල, අලව්ව, කොළඹ, පොල්ගහවෙල, කෑගල්ල, කඩවත සහ මාවරමණ්ඩිය ආදී ප්‍රදේශවල මෙම පුද්ගලයා සැඟව සිටින බවට ලද තොරතුරු අනුව පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු ලුහුබැඳ ඇත. මෙම පුද්ගලයා තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට පැමිණෙන බවට තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා ලද දුරකථන ඇමැතුමකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු යතුරුපැදියෙන් එමින් සිටියදී තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සමඟ බෝර 12 රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 6ක්, එකිනෙකට වෙනස් හැඳුනුම්පත් හයක්, ජංගම දුරකථන පහක්, රියැදුරු බලපත්‍ර පහක්, යතුරුපැදියක අංක තහඩුවක්, හිස්වැස්මක්, ජැකැට්ටුවක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.


ඡායාරූප, නම් සහ ලිපිනයන් එකිනෙකට වෙනස් වූ හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර මෙම පුද්ගලයා භාවිත කර ඇතැයි පොලිසිය කියයි.
2013 වර්ෂයේදී කොහුවල පොලිස් ස්ථානයේ සිරමැදිරියක බිත්තිය හැන්දකින් හාරා කඩා ඉන් පැන යෑම සම්බන්ධයෙන්ද මෙම සැකකරු විවෘත වරෙන්තු ලබා සිටි අයෙකු යැයි පොලිසිය කියයි.


මාතර හා තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි අබේරාජ් ගම්ලත්, සහකාර පොලිස් අධිකාරි බී.එම්.එම්. දසනායක මහත්වරුන්ගේ නියෝගය පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.බී. දයානන්ද, උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් කොස්තාපල්වරුන් වන නාමල් (635599), මංජුල (44974), ගාමිණී (53724), ප්‍රතාපසිංහ (79438), දුමින්ද (80530), හේරත් (74923), දේශාන් (77464) සහ පතිරණ (57578), නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (15දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon