රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති හෙයින් සැකකරුවන් හත්දෙනා 28දා තෙක් යළි රිමාන්ඩ්

  👤  2459 readers have read this article !
By mawbima 2018-11-16

බළපිටිය - දම්සරී ලියනගේ


කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කළේ යැයි කතරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 7 දෙනා රස පරීක්ෂක වාර්තා ලැබී නොමැති බැවින් නොවැම්බර් මස 28 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචනමාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය පෙරේදා (14දා) නියෝග කළාය.


අදාළ රස පරීක්ෂක වාර්තා අධිකරණයට කැඳවන ලෙස දන්වමින් සිහි කැඳවීමේ ලිපියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙසද ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලය වෙත යවන ලද දෙවැනි සැකකරුගෙන් ලබාගන්නා ලද වාර්තා සහ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බව කියන පළමු සැකකරුට අයත් ජීප් රථයෙන් ලබාගත් අදාළ වාර්තාව, ඇඟිලි සලකුණු වාර්තාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය. රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ වෙඩි තැබීම සඳහා භාවිත කළේ යැයි කියන ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා බෝර 12 තුවක්කුවයි.

කිරිවෙහෙර නාහිමියන්ට මේ වන විටත් විවිධ අයුරින් ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බවත් නිර්නාමික ලිපියක් මඟින්ද කරන ලද එවැනි තර්ජනයක් සම්බන්ධව එහි විහාරාධිකාරි තලගල ඥානින්ද හිමියන් පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් හා සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරන බවත් මෙහිදී කතරගම පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

2015 අංක 5 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීම හා ආරක්ෂා කිරීමේ පනත යටතේ නඩු පවරා මේ තර්ජන සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), එකම පවුලේ නිවුන් සොහොයුරන් දෙදෙනකු වන ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක (24), මාරපතිරගේ කවිශ්ක දිල්ශාන් නොහොත් කුරුලු (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලි (18), දිපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාලහාමි යන සැකකරුවන්ය.


කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හත්දෙනා (07) අතුරින් හතරවැනි (04) සැකකරු පසුගියදා මෙම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී සිදුකළ පාපෝච්චාරණයක් හේතුවෙන් ඔහුට සෙසු සැකකරුවන්ගෙන් හා රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙනත් සැකකරුවන්ගෙන් අනතුරක් සිදුවිය හැකි බැවින් මොහුට විශේෂිත ආරක්ෂාවක් ලබාදීමට ගරු අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් විත්තියේ නීතිඥ ඩී. දයානන්ද මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


විත්තියේ නීතිඥ ගීතිකා සමන්මලී මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායක හය වැනි විත්තිකාරියට අයත් රන් භාණ්ඩ ඇතුළු දේපළ යම් ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවක උකස් කර තිබෙන බවත්, ඒවා සින්නවීමට ආසන්න කාලයක් ගත වී ඇති බවත්, එම දේපළ බේරා ගැනීමට සිය ඥාති සොයුරියක් වෙත බලය පැවරීම සඳහා බන්ධනාගාරයේදී එම ලේඛනවලට සහ දිවුරුම් ප්‍රකාශවලට අස්සන් දීමට අවසරය ලබාදෙන ලෙසත්ය. එම ඉල්ලීමටද අනුමැතිය ලබාදුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහාද බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම් දෙන ලෙසද නියෝග කළාය.


විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයන් දෙදෙනාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරීමේ චෝදනා මත සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඊට ආධාර අනුබල ලබාදී ඇති බවටත් පරීක්ෂණවලදී
හෙළි වන බවටත් 1996 අංක 22 දරන ගිනිඅවි සංශෝධන පනත යටතේ හා අංක 44 දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ අංක 102 හා 113 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් මෙම සැකකරුවන් සිදුකර ඇති බව ද තොරතුරු අනාවරණය වන බවත්, එම හේතුවෙන් ගිනි අවි යොදාගෙන මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, ඊට අනුබල දීම හා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා අනුව මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. ඉදිරි පරීක්ෂණ සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


කතරගම පොලිස් ස්ථානාධිපති අයි.කේ.එස්.යූ.කේ. ලියනගම මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මනිමෙල්දුර සමන් (28030) ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon