රන්ජනුයි තෙවරප්පෙරුමයි පිහි අරන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට අනින්න ආවා

  👤  2608 readers have read this article !
By mawbima 2018-11-16

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු පිහි දෙකක් අතින් ගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව තුළදී පහරදීමට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.


රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් පිහි අරගෙන ආවා. එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ට ජීවිත අවදානමක් තිබුණා. ඔවුන් ප්‍රහාර එල්ල කළා. අපේ අයට තුවාල සිදු වුණා. එම ලේ මගේ ඇඳුමෙත් තැවරිලා තිබුණා. පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ මෙසේ ලේ හැලීමට සිදුවීම ගැන වගකිවයුත්තේ කථානායක කරු ජයසූරිය මහතා. ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලන්නේ මිනිස් බිල්ලක්ද?


පාඨලී චම්පික රණවක අනතුරු අඟවලා තිබෙනවා ලේ වැගිරීමකට සූදානම් කියලා. එදා පාඨලී චම්පික රණවක කියූ දේද කථානායකතුමා මේ ආකාරයෙන් ඉටු කරන්නේ. මේ රට රුධිරයෙන් තෙත් වුණු ඉතිහාසයක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කියමින් කථානායකතුමා කටයුතු කරන්නේ බටහිර හාම්පුතුන් සතුටු කරන්නයි.


ඒක නිසා මම දුෂ්ට බලවේග සියල්ල පරාජය කිරීම සඳහා නව ජනවරමක් අවශ්‍යයි යනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, 'ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට උපක්‍රමශීලීව එක්සත් ජාතික පෙරමුණ උත්සාහ ගන්නා බවයි.'
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ගෙන ඒමට තීරණය කළේ ඒකාධිපති බලතල කප්පාදු කිරීමට බවයි.


ජනාධිපතිතුමාගේ බලතල අඩුකර රට අරාජික කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන්නේ කවුරුන් සතුටු කිරීමටද කියා තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.


අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව කියා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා කඩදාසි මිටියක් අරගෙන කථානායක අසලට දිවගියේ පන්ති භාර ආචාර්යවරයා අසලට යන පන්ති නායකයා සිහිපත් කරන ආකාරයෙන් බවයි.


පිටිසර ගමක මරණාධාර සමිතියක සභාපති කෙනකුවත් ඉවත් කරන්නේ නැති විදියටයි අගමැතිතුමාට එරෙහිව මේ ආකාරයෙන් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ.
මම දන්නා ආකාරයට මේ දිනවල කථානායකට එක්සත් ජාතික පක්ෂයෙන් විශාල තෙරපුමක් ඇති කරනවා. මේ තෙරපුම නිසා කථානායකතුමාගේ සියුම් ස්නායු එකිනෙක ගැටීමෙන් බරපතළ රෝගී තත්ත්වයක් කථානායකතුමාට ඇතිවෙලා වගේ. විකෘති පාර්ලිමේන්තුව තවදුරටත් ඉදිරියට ගෙනියන්න එපා. නව ආණ්ඩුවක් තෝරා පත්කරගැනීමේ අවස්ථාව මේ රටේ පොදු මහජනතාවට කඩිනමින් ලබාදිය යුතුයි.


මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රි යැයි ප්‍රකාශ කිරීම තුළින් කථානායකතුමා මොනතරම් ප්‍රාථමික මොනතරම් ගෝත්‍රික තත්ත්වයට වැටී තිබෙනවාද කියායි.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon