රට අස්ථාවර කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රි භාරගන්න ඕනෑ

  👤  2554 readers have read this article !
By mawbima 2018-11-16

රට අස්ථාවර කිරීමේ සම්පූර්ණ වගකීම ජනාධිපති මෛත්‍රි භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් අවධාරණය කරයි.
රට ඉදිරියට යනවද පසුපසට යනවද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.


ජනතා විමුක්ති පෙරමුණ තීන්දු තීරණ ගත්තේ මෛත්‍රි, රනිල් හෝ මහින්ද තුන් කට්ටුව ගැන නොව ජනතාව ගැන සිතා බව පවසන ඒ මහතා කියා සිටියේ තම පක්ෂය කිසිදු විටෙක පක්ෂග්‍රාහී තීන්දු නොගන්නා බවට ජවිපයේ සාමාජිකයන් හොඳ අවබෝධයක සිටින බවය.


ඔහු ප්‍රශ්න කළේ ජනාධිපති නීත්‍යනුකූල ආණ්ඩුවක් පත් කළේ නම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් මන්ත්‍රිවරුන් 122ක් විසින් සම්මත කළේ කෙසේද යන්න ගැනය. එම නිසා නව ආණ්ඩුවක් පත් කිරීම ජනාධිපති සතු වගකීමක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ (15දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීය.


ජනාධිපතිවරයා විසින් ඇගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂත්, කැබිනට් මණ්ඩලයකුත් පත්කළා. එය ව්‍යස්ථා විරෝධී, නීතිවිරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවක්. ජනාධිපතිවරයා, පත්කරපු අගමැතිවරයාට බහුතරය තියෙනවා කියලා විවිධ අවස්ථාවලදී කිව්වා. පසුගිය 05 වැනිදා රැස්වීමේදී 113 හදලා ඉවරයි කියලා ඔහු කිව්වා. නමුත් දිගින් දිගටම මෛත්‍රිපාල සිරිසේනගේ ඊනියා ආණ්ඩුවට බහුතරය හදාගන්න බැරිවුණා. බහුතරය නැති නිසා තමයි පාර්ලිමේන්තුව වාර අවසාන කළේ. පසුව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එය අභියෝගයට ලක්කරලා ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වුණා. එහිදී ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. සියලු කුමන්ත්‍රණ අසාර්ථක වෙලා මෛත්‍රිපාල සිරිසේන හත් පොළේ ගාගෙන ඉවරයි.


14 වැනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වෙ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයකට අනුවයි. එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තීරණය කළ යුතුව තිබුණේ සභාව විසින්. 14 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ පැවති පක්ෂ නායක රැස්වීමේදී අපි දැනුම් දුන්නා, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක්ද, විශ්වාසභංගයක්ද ඉදිරිපත් කරනවා කියලා.

ඒ මොහොතේ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් කථානායකවරයාට භාර දුන්නා. පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සුමන්දිරන් මන්ත්‍රිවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ගෙනාවා. එය මා විසින් සම්මත කළා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රිවරුන්ගේ එකඟතාවයෙන්. පසුව විශ්වාසභංග යෝජනාව අනුර දිසානායක මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කළා. නීතිවිරෝධී ගැසට් පත්‍රයකින් පත්කළ අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් පිළිබඳව විශ්වාසයක් නැති බව අපි යෝජනා කළා. විශ්වාසභංගය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතුව තිබුණා.

නමුත් පාර්ලිමේන්තුව කඩාකප්පල්කාරී කිරීම නිසා විවාදයකින් තොර ඡන්ද විමසීමකට යෑමට සිදුවුණා. ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කළා. එයද ඔවුන් විසින් කඩාකප්පල් කළා. කුමන්ත්‍රණකාරීන්ගේ කුමන්ත්‍රණ පරාජයට පත්වීම නිසා ඔවුන්ගේ එකම අරමුණ වෙලා තිබුණේ පාර්ලිමේන්තුව පත්වාගෙන යෑමට නොදී කඩාකප්පල් කිරීමයි. නමුත් කථානායකතුමා ස්ථාවර නියෝගවල බලතල ක්‍රියාත්මක කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි ස්ථාවර නියෝග හදලා තියෙන්නේ. කථානායකතුමා කිසිදු වෙලාවක ස්ථාවර නියෝගවලට පටහැනිව වැඩ කළේ නැහැ.


පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළා. ඒ යෝජනාවට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත් කරන ලද කැබිනට් ධුරද නිශේධනය වෙනවා. මේ මොහොත වනවිට රටේ අගමැතිවරයෙක් හෝ ඇමැති මණ්ඩලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.2 අනු ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් අනුමත කළහොත් කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඒ වගේම 46.2 අනු ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතිනා තාක් පමණයි. එම නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම සිදුකළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. දැන් කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි. රට අස්ථාවර කරන්නේ නැතිව අරාජික කරන්නේ නැතිව අවුලෙන් අවුලට පත්කරන්නේ නැතිව රට ස්ථාවර කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් ජනාධිපතිවරයා විසින් තව තවත් රට අවුල් කරමින් තිබෙනවා.


ජනාධිපතිවරයා විසින් අද උදේ 8.30ට පක්ෂ නායක රැස්වීමක් යොදා තිබුණා. අපි ඒ සඳහා සහභාගි වීමට තීරණය කළා. නමුත් ඊයේ රාත්‍රි ජනාධිපතිවරයා කථානායකවරයාට ලිපියක් යවා තිබුණා. එයින් කියා තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කරන බවයි. ජනාධිපතිවරයා එසේ කරන්නේ කොහොමද? එපමණක් නොව කථානායකවරයා ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග නොසලකා කටයුතු කළ බවත් කියා තිබුණා. කිසිදු කඩකිරීමක් කළේ නැහැ.

කථානායකවරයා සියල්ල සිදුකළේ ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුවයි. ව්‍යවස්ථාව තුන් හතර වතාවක් උල්ලංඝනය කරපු මෛත්‍රිපාල සිරිසේනට කිසි සදාචාර අයිතියක් නැහැ එවැනි ලිපියක් ලියන්න. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන්ගේ තීරණය අනුව කටයුතු කිරීමයි. ලැජ්ජාවට කරුණ වන්නේ ඔහු පාර්ලිමේන්තුවෙන් යවපු අස්සන් ලේඛනවල අඩුපාඩු හොයනවා. අස්්සන් ලේඛනවල දින යොදා ඇති ආකාරය ගැනත් හොයනවා. විශ්වාසභංගයක් කලින් අස්සන් කොට තබා ගත හැකියි. එදිනම අස්සන් කළ යුතු යැයි කොහේවත් සඳහන් වන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් විශ්වාසභංගයක් සම්මත වූ පසු ජනාධිපතිවරයාට අස්සන් ලේඛනයක් යැවිය යුතු නැහැ.

කථානායකතුමා දැනුම්දිය යුත්තේ යෝජනාව සම්මත වූ බව පමණයි. නමුත් ජනාධිපතිවරයා රටේ මූලික පුරවැසියා ලෙස පහත ආකාරයේ ලිපි ලිවීම පිළිබඳව ලැජ්ජයි. ජනාධිපතිවරයා දැන් කරමින් තිබෙන්නේ දෙකේ පන්තියේ වැඩ. මනස විකල් වෙලා. පියවි සිහියෙන්ද වැඩ කරන්නේ කියලා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රිපාල සිරිසේනලාට, මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව පැහැදිලියි. විශ්වාසභංගය වෙලාවේදී ඒ පැත්තට ගිය හතර දෙනෙක් අනෙක් පැත්තට ආවා. ඔවුන් විශ්වාසභංගයට අස්සන් කළා. එය මුළු රටම දැක්කා. දැන් තියෙන ප්‍රශ්නය ඔවුන්ගේ බැරිකම පිළිනොගැනීමයි. කරපු කුමන්ත්‍රණ හැම එකක්ම පරාදයි. මෛත්‍රිපාල හැම තුරුම්පුවක්ම කුජීත වෙලා ඉවරයි.


දැන් ඔවුන්ගේ එකම අරමුණ වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් එන එක වළක්වා ගැනීමයි. අද පාර්ලිමේන්තුවේදී සිදු වුණෙත් එම කඩාකප්පල් කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බලාපොරොත්තුවෙන් හිටියා වර්තමානයේ රටේ මතුවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව කල් තැබීමේ විවාදයක් ගේන්න. නමුත් එයට කලින් මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයාට කතාවක් කිරීමට අවශ්‍ය බව කථානායකට දැනුම් දී තිබුණු නිසා ප්‍රජාතන්ත්‍රවාදයට කරන ගරු කිරීමක් ලෙස කථානායකවරයා ඔහුුට අවස්ථාව ලබාදුන්නා. අගමැතිවරයා ලෙස නොව මන්ත්‍රිවරයෙක් ලෙස ලබාදෙන අයිතියක් ලෙසයි. කථානායකවරයා අද උදේ පැහැදිලිව ප්‍රකාශයට පත්කළා දැන් මේ රටේ අගමැතිවරයෙක් හෝ කිසිදු ඇමැතිවරයෙක් ක්‍රියාත්මක නැහැ කියලා.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කතාව පිළිබඳ කිරිඇල්ල මන්ත්‍රිවරයා ඡන්දයක් අවශ්‍ය බව පැවසුවා. ඒක මන්ත්‍රිවරයකුට ඇති අයිතියක්. පසුගිය ආණ්ඩුව කාලයේ කරු ජයසූරිය මන්ත්‍රිවරයා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්න හදපු වෙලාවේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එවැනි ඡන්දයක් ඉල්ලා සිටියා. එහෙම කරලා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව තමයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කතාවට ඡන්දයක් ඉල්ලුවේ. කථානායකවරයා නම් වශයෙන් ඡන්දයට යන්න නියෝගයක් දුන්න වේලාවේ තමයි බංකොලොත් කණ්ඩායම තමන්ට බහුතරය නැති නිසා සභාව මැදට පැනලා කඩාකප්පල්කාරී ලෙස හැසිරුණේ. සෙංකෝලය උස්ස ගන්න හදලා කථානායකතුමාට තර්ජනය කරලා අශෝභන ලෙස හැසිරුණා. තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. අවසානයේ කථානායකතුමාට කතා කිරීමට තිබුණු මයික්‍රෆෝනයත් ගලවලා දැම්මා. මුළු රටම සජීවීව එම සිදුවීම් මාලාව දැක්කා. අද සිදුවීමත් කුමන්ත්‍රණයේම දිගුවක්.


ඔවුන්ට බහුතරය නැති නිසා ඡන්දයක් එන සෑම වෙලාවකම එය කඩාකප්පල් කරනවා. ඔවුන්ගේ බැරිකම වසාගැනීමට උපක්‍රමයක් ලෙස එය පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුව කැඳවීමේ සම්පූර්ණ අයිතිය කථානායකවරයාට තිබෙනවා. ඒ නිසා හෙට නැවතත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස අපි ඉල්ලා සිටියා. ඡන්දයකට යන්න ඕනෑ කියන කට්ටිය පාර්ලිමේන්තුව කැඳවනවාට බයයි. මුලින් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවාද කියලා දැනගන්න පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රිවරුන්ගේ ඡන්දයකට ඉඩ දෙන්න.

ජනාධිපතිවරයාට අවධාරණය කරනවා, ඔබ තමයි මේ රට අවුලට පත්කළේ. දැන්වත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන්ගේ තීන්දුවට හිස නමලා තමන්ගේ බැරිකම තේරුම් අරගෙන නිහතමානී වෙලා වැඩ කරන්න කියලා. පත්කළ ආණ්ඩුවේ කාලය අවසන්. දැන් අලුත් ආණ්ඩුවක් පත්කළ යුතුව තිබෙනවා. අලුත් අගමැති පත්කළ යුතුව තිබෙනවා. අලුත් ඇමැති මණ්ඩලයක් පත්කළ යුතුයි. ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ එයයි. බාල, දෙකේ පන්තියේ ලියුම් ලියන එක ඔහු නැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා දෙකෝටියක් ජනතාවගේ ජීවිතවලට වගකිව යුතුයි. මුළු රටම තනි පුද්ගලයකුගේ තීන්දු මත ර¼දා පවතින තත්ත්වයක් ඇතිවෙලා. තවත් කල් මරන්නේ නැතිව රට තුළ ඇතිවෙලා තියෙන අවුල්සහගත තත්ත්වය නිරවුල් කරන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.


රට මින්පසු ඉදිරියට යනවද පසුපසට යනවද කියල තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයායි. දැන් ලබන අවුරුද්දට අයවැයක් නැහැ. ජනවාරි මාසයේ ඉඳලා රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න මුදල් නැහැ. ආර්ථිකය කඩා වැටිලා. රුපියල තවත් බාල්දු වෙලා. ඒ වගේම ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් රට විශාල අර්බුදයකට වැටෙනවා. එනිසා තමයි අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ රට තවත් අවුලට පත් නොකර නීතිවිරෝධී ආණ්ඩුව ඉවත් කරලා නීත්‍යනුකූල ආණ්ඩුවක් හදලා නීත්‍යනුකූල කැබිනට් මණ්ඩලයක් පත්කරලා තමයි මැතිවරණයකට යා යුත්තේ, පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් එය 2/3න් සම්මත කරගත පසුව මැතිවරණයකට යන්න පුළුවන්.


ජවිපෙ සාමාජිකයන්ට ජවිපෙ තීන්දු ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය වෙලා තිබෙන්නේ රාජක්ෂගේ වලව්වේ වළං හෝදලා ඇමැති කට්ටක් සූප්පු කරකර හිටපු උන්නැහේලාට ඇමතිකම් නැතිවෙයි කියලා හිතෙනකොට ඒ ඔඩොක්කු කුක්කන්ට බයයි. එතකොට තමයි, ජවිපෙ රෝහණ විජේවීර සහෝදරයාව මතක් වෙන්නේ. වීරවංශට පුළුවන්ද රෝහණ විජේවීර සහෝදරයාට, සහෝදරයා කියලා කියන්න? ධනපති ගුබ්බෑයම්වලට රිංගලා වළං හෝදන ගමන් රෝහණ විජේවීර සහෝදරයාගේ නම කියන්නවත් වීරවංශ නමැති පාදඩ දේශපාලනඥයාට සාදාචාරාත්මක අයිතියක් නැති බව ජවිපෙ සාමාජිකයන් සියලු දෙනා දන්නවා. අප වීරවංශට කියනවා, පුළුවන්නම් ධනපති ගුබ්බෑයමින් එළියට ඇවිත් රෝහණ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්තිවල හිටගෙන පෙන්වන්න කියලා.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon