බහුතරය නියම විදියට පෙන්වන්න

  👤  2429 readers have read this article !
By mawbima 2018-11-16

පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා එලෙස දැනුම්දී ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ, දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඊයේ (15දා) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

එම සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතුවන බව එම දේශපාලන පක්‍ෂ නායකයන් ඇතුළු පක්‍ෂ නියෝජිතයන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති අතර එය පිළිගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුනට එහිදී දැනුම්දී ඇත. පෙරේදා (14දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ වගන්තිය ඉවත් කිරීම සහ යළි අද (16දා) දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමුකර ඇති අතර ඡන්ද විමසීම මන්ත්‍රිවරුන්ගේ නමින් සිදු කරන ලෙස නියෝජිත පිරිසගෙන් ජනාධිපතිවරයා ඉල්ලා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා නියෝජිත පිරිසට දැනුම්දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බවද නියෝජිත පිරිසට දැනුම්දී ඇත.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබෙන අතර පැය දෙකක පමණ දීර්ඝ කාලයක් සාකච්ඡාව පැවැත්විණි.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්නා කණ්ඩායමට ආණ්ඩුව පිහිටුවීම සඳහා තම සහාය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට පොරොන්දු වී තිබේ.

මේ සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දක්වමින් දෙමළ ජාතික ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසුවේ පාර්ලිමේන්තුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද ජනාධිපතිවරයා තම කණ්ඩායමට පොරොන්දු වූ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon