කථානායක කොළපාට කමිසයක් ඇඳගෙන පාර්ලිමේන්තුව හසුරවනවා

  👤  3216 readers have read this article !
By mawbima 2018-11-18

කිසිදු ජන පදනමක් නැති මොහොතක එක පාරටම ආණ්ඩු බලය අල්ලන්න ගිහින් මොකක්ද පොහොට්ටුවට වුණේ?
අපට ආණ්ඩු බලය අල්ලන්න ඕන වුණේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් මේ රටට කරන්න ගිය විනාශයෙන් රට බේරාගන්නයි. එක පැත්තකින් රටේ සම්පත් ටික විකුණන්න හදනවා. රටේ ආර්ථික කඩා වැටිලා. බදු ගහනවා. රට බරපතළ පොලී අනුපාතිකයකට ගිහින්. මේ නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. අනෙක් පැත්තෙන් නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න හිටියේ. ඒ වගේම ඉන්දියාවට මත්තල, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඇතුළු අපේ රටේ ආර්ථිකය මර්මස්ථාන රැසක් විකුණන්න සූදානමින් හිටියේ. ජපානය ඇතුළු තවත් රටවල්වලට රටේ සම්පත් විකුණා රට අවදානම් තත්ත්වයක තිබියදී තමයි ජනාධිපතිතුමා අපට ආරාධනා කළේ. ඒ අනුවයි අපි ආණ්ඩු බලය ඇල්ලුවේ.


ඒකට ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩු බලය ඇල්ලුවේ ඇයි?
අපි ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩු බලය ඇල්ලුවේ නැහැ. අපට මේ විදියට තව වසරක් විතර හිටියා නම් තුනෙන් දෙකේ බහුතරය අරගෙන ආණ්ඩු හදන්න තිබුණා.


එතකන් ඉන්නේ නැතිව ආණ්ඩුව හැදුවේ බලයට කෑදර නිසා නේද?
නැහැ. අපට ඒ තරම් කාලයක් හිටියා නම් අපට කරන්න රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසයි තීන්දු කළේ දේශපාලනික වශයෙන් අපට අවාසියක් වුණත් මේ වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීන්දුව එක්ක හිටගෙන අගමැතිවරයයි ආණ්ඩුවයි වෙනස් කරන්න.


ඔය තීන්දුව ව්‍යවස්ථා විරෝධිව ගත්ත නිසයි මේ අර්බුද?
නැහැ. එතැන කිසිම ව්‍යවස්ථා විරෝධී දෙයක් නැහැ. අගමැතිවරයා පත් කිරීම සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී කිසිදු ව්‍යවස්ථා විරෝධයක් නැහැ. අනික ඒක අභියෝගයට ලක්කළ හැක්කේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට පමණයි. නමුත් අද වෙනතෙක් ශේ‍ර්ෂ්ඨාධිකරණයට කවුරුත් ගිහින් නැහැ.


ජනාධිපතිවරයාගේ තීන්දුවට ශේ්‍රෂ්ඨාධිකරණය හරහා අභියෝගයට ලක්කරන්න බැරි නිසායි උසාවි නොගිහින් පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්නය විස¼දාගන්න එන්න කියා කියන්නේ?
නැහැ, නැහැ 42:1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා ජනාධිපතිවරයාට විශ්වාසය ඇති පුද්ගලයෙක් අගමැති ලෙස පත් කළ හැකියි කියා. 2015 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත්කළේ කොහොමද? 42යි එජාපයේ හිටියේ අපේ 95ක් ඉන්නවා ඒ 95ක් ඉන්න තැන මහින්ද මහත්තයානේ පත්කළේ. ඒ නිසා පැහැදිලිවම අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පත්කිරීම ව්‍යවස්ථානුකූලයි. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.


අගමැති සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. නමුත් අගමැතිවරයා ඉවත් කිරිමේ ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධියි කියලයි එජාපය කියන්නේ?
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කළ හැකියි. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයට යන්න පුළුවන්නම් මේකටත් යන්න පුළුවන්නේ. යන්නේ නැත්තේ වැඩේ හරියට වුණ නිසයි. පැහැදිලිවම අගමැතිවරයා ඉවත්කර නව අගමැතිවරයෙක් පත්කිරීම සියයට සියයක් ව්‍යවස්ථානුකූලයි. අද මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කථානායකවරයාගේ අර්බුදයයි. අද මේ රටේ ඇතිවී තිබෙන ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන කරු ජයසූරිය. කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නොසලකා හැර තනිකර සිරිකොත උපදෙස් පරිදි කටයුතු කිරීම නිසා අද රට අස්ථාවර වෙලා.


ආණ්ඩු පක්ෂය එසේ කීවත් කථානායකවරයා ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවා කියලයි විපක්ෂයේ සියලුම පක්ෂ කියන්නේ?
නැහැ. ඒක වැරැදියි. කථානායකවරයා කොළපාට කමිසයක් ඇඳගෙන තමයි පාර්ලිමේන්තුව හසුරුවන්නේ. පසුගියදා මහින්ද මහත්තයට එරෙහිව ගෙනා විශ්වාසභංගයට මුහුණ දුන්න හැටි බලන්න. එතුමාට කියන්න තිබුණා අපේ ආසනවලට ගිහින් ඇඟිල්ලෙන් බොත්තම ඔබලා ඡන්දය ප්‍රකාශ කරන්න කියා. කියන්න. නමුත් කථානායකවරයා හඬ අනුව ඡන්දය විමසුවා.


හඬ අනුව ඡන්දය විමසන්න කථානායකවරයාට බලය තියෙනවා. ආණ්ඩු පක්ෂයේ කලබලකාරී හැසිරීම නිසයි ඒ විදියට ඡන්දය විමසුවේ කියා විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු කියන්නේ?
නැහැ. ඔහු කටයුතු කළේ රනිල් වික්‍රමසිංහට ඕන විදියටයි. අද වෙනකම් රනිල්ට 113ක් දිවුරුම් ප්‍රකාශ දීලා කියලා නෑනේ රනිල් අගමැති කරන්න කියලා. ඒනිසා පැහැදිලියි රනිල් වික්‍රමසිංහගේ පක්ෂග්‍රාහී ක්‍රියාපිළිවෙත අනුවයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.


14 වැනිදා විශ්වාසභංගය ඉදිරිපත් වුණේ රනිල් අගමැති කරන්න කියා නෙමෙයි. ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ලෙස පත්වූ මහින්ද මහත්තයා සහ කැබිනට් එක පිළිගන්නේ නැති එකටයි? ඒ වෙනුවෙන් 122ක් අස්සන් කළා. රනිල් අගමැති කරන්න කියා කොතනකවත් කිව්වේ නැහැ?
නැහැ. ඒක වැරැදියි. ජනාධිපතිවරයාට යවලා තිබ්බේ නොවැම්බර් 02දා අස්සන් කළ ලියුමක්. 14 අස්සන් කළ එකක් නෙමෙයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා, පැහැදිලි කරනවා. ඒකට දැන් කථානායකවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ඔහු කූට ලේඛන සකස් කළා කියලා. ඒකයි ඇත්ත.


ආණ්ඩුවට බහුතරය තියෙනවද?
ඔව්


ඉතින් බහුතරය පෙන්නලා මේ ප්‍රශ්නය ඉවර කළා නම් හරිනේ?
අපට බහුතරය පෙන්වන්න අවස්ථාවක් තියෙන්න ඕන. එක්කෝ පනතක් ගේන්න ඕන. එහෙම නැත්නම් අය වැයක් ගේන්න ඕන. නැත්නම් විශ්වාසභංගයක් ගේන්න ඕන.


මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනත් තියෙනවනේ. ඉතින් බහුතරය පෙන්නලා ඒක පරාජය කරන්න පුළුවන්නේ?
බහුතරය පෙන්වන්න පුළුවන්. නමුත් අපි මොකටද පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩලා කරු ජයසූරියට ඕන විදියට වැඩ කරන්නේ.
විශ්වාසභංගයට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කතාවට ඡන්ද විමසීිමකට යෝජනා වුණ පසු කථානායකවරයා සභාවේ අනුමැතිය අරගෙන ඡන්දයකට යන්න හදනකොට ආණ්ඩු පක්ෂය රණ්ඩුවකට යන බවයි.


විපක්‍ෂයේ චෝදනාව. ඒ ආණ්ඩුවට බහුතරය නැති නිසාද? මොකක්ද ඇත්ත?
නැහැ අපට බහුතරය තියෙනවා. කථානායකට පුළුවන් වෙනදා වගේ සියලු දෙනා නිශ්ශබ්ද කරලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කල්දාලා පක්‍ෂ නායකයෝ කැඳවලා මේ ගැන පැහැදිලි කරලා ඡන්ද විමසීමකට යන්න. එහෙම නැතිව කරු ජයසූරිය මහතා තනිකරම පක්‍ෂග්‍රාහි ලෙස කටයුතු කරනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි කථානායකවරයෙක් කොළ පාට කමිසයක් ඇඳලා අලියා පිටිපස්සේ ගහගෙන වැඩ කරන්නේ. එදා චමල් රාජපක්‍ෂ මහත්තයාට තිබුණා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පිළි නොගෙන ඉන්න. නමුත් එතුමා එහෙම අභියෝග කළේ නැහැ.


දැන් 2015 කථාව සාධාරණය කරන්න හැදුවට. ඒ පත්කිරීම වැරැදි නම් ඇයි ඔබතුමන්ලා ඒ ගැන නීතිමය පියවර නොගත්තේ?
එදා නීතිමය පියවර ගත්තේ නැත්තේ ඒක ව්‍යවස්ථානුකූල නිසයි. ඒ නිසා මේක පැහැදිලිවම ව්‍යවස්ථානුකූලයි. ඒ නිසා මේ වෙලාවේ රට අස්ථාවර වීමේ සම්පූර්ණ වගකීම ගත යුත්තේ කරු ජයසූරිය මහතායි. එතුමා ව්‍යවස්ථා විරෝධී සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැරව සිරිකොතේ උපදෙස් පරිදියි වැඩ කරන්නේ.


ඔබ කියන විදියට අත්තනෝමතිකව කථානායකවරයා හැසිරෙනවා නම් ඔබලාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා නම් ඇයි ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන්නේ නැත්තේ?
ඉදිරි කාලය තුළ අපි ඒ ගැන කතා කරනවා. දැන් කථානායකවරයා එකක් දැනගත යුතුයි. ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා මැතිවරණයකට යෑම අත්හිටුවලා. ඇයි මේ අය මැතිවරණයකට යන්න බය. එහෙම බය නැත්නම් එජාපය 14 වැනිදා කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යමු කියලා යෝජනාවක් ගේන්න. අපි යන්න ඕන ජනතා අධිකරණයට.


තවම ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ලැබිලා නැනේ?
ඒක හරි. නමුත් යෝජනාවක් කරන්න තිබුණා.


ඔබතුමන්ලටත් කරන්න පුළුවන්නේ. ඇයි එජාපයම කරනකන් බලන් ඉන්නේ?
අපි මේ යෝජනාව ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ජවිපෙත් පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කරන බව කියනවා. ඒ නිසා ඒ ගැන සලකා බලනවා.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. නමුත් කළ වැඩේ ව්‍යවස්ථා විරෝධියි කියායි එජාපය ඇතුළු විපක්‍ෂය කියන්නේ?
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ඇත්නම් මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා.


නමුත් කළේ එහෙම නෙවෙයි නේද?
ඒක හරි. එහෙම නැතිව මේ වැඩේ ඉක්මන් වුණේ රට අරාජික නිසයි. රටේ සම්පත් විකුණන නිසයි. එහෙම නම් මේ වෙලාවේ එජාපයටත් පුළුවන් සහාය දීලා ඡන්දයකට යන්න.


නමුත් ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුව විසුරපු නිසානේ මේ අවුල?
ජනාධිපතිතුමා හිතුමතේ පාර්ලිමේන්තුව විසිරුවේ නැහැ. රට දේශපාලන වශයෙන් අස්ථාවර වුණාම පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා.


බලය තියෙන්නේ තුනෙන් දෙකේ බලය ඇත්නම් පමණයි. නැත්නම් අවුරුදු 4 1/2ක් ඉන්න ඕන. එහෙමයි විපක්‍ෂය කියන්නේ?
පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බහුතරයක් ඕන කියනවා. නමුත් 33.3 ඇ වගන්තියේ තියෙන්නේ පාර්ලිමේන්තුව කල් තැබීම, විසිරවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවයි. ඒ අනුවයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ.


එම කාරණා පැහැදිලිව තිබෙන එක ඇත්ත. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවන්න බහුතර කැමැත්ත ඕන කියන එක ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි?
33.3 ඇ හි බොහොම පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි කියා. එහි තුනෙන් දෙකක බහුතරය ගැන සඳහන් නැහැ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව අස්ථාවර වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. නමුත් එජාපයට තව මාසයක් ඉවසන්න බැරිව අධිකරණයට ගිහින් තීන්දුවක් ගත්තා. මේ මාසය තුළ රට අස්ථාවර වෙන්න නොදී අධිකරණ තීන්දුව අනුව නිවැරැදියි හෝ වැරැදියි කිව්වා නම් අපි ඒක පිළිගන්නවා. ඊට පස්සේ විශ්වාසභංගයක් ගේනවා නම් අධිකරණ තීන්දුවත් අපට අවාසි වුණොත් අපට අයින් වෙන්න සිදුවෙනවා. හැබැයි අපි විශ්වාසභංගය ජයගෙන අධිකරණ තීන්දුවත් හරි කියලා ආවා නම් අපි ඉන්නවා. ඒකයි කරන්න තිබුණේ.


ආණ්ඩුවට බහුතරය තියෙනවා නම් රට අස්ථාවරයි කියා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඇයි? ඒ වගේම ඔබ කියන කාරණාව අනුව විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාදයි. එහෙනම් අයින් වෙන්න එපැයි? බහුතරය තියා ඉන්න මන්ත්‍රිවරු රැක ගන්නත් දැන් ආණ්ඩුවට බැරි වෙලානේ?
ආණ්ඩුවේ 4-5ක් ගියා. තව අය එනවා කියලා එයාලා කියනවා. ඉතින් අපි බලමුකෝ අංක හදන වෙලාවටනේ බහුතරය ඕනා. යනවා එනවා පාර්ලිමේන්තුව ඇතුළේ ඒක තියෙනවා. අපිට බහුතරය පෙන්වන්න අවශ්‍යයි කියන වෙලාව ආවමනේ පෙන්වන්න ඕන. අපි ඒ වගකීම ගන්නවානේ. අනෙක පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් අපිට බහුතරය පෙන්වන්න තිබුණා. නමුත් අපේ අයගේ නොසැලකිල්ලෙන් ඒක වෙනස් වුණා.


ඔහොම ගියොත් පනත් සහ අය-වැය දිනන්නේ කොහොමද?
අපි 113 අංක ගණිතය දන්නේ නැතිව නොවෙයිනේ. මහින්ද මහත්තයා අංක ගණිතය දන්නේ නැතිව නෙවෙයිනේ. ඒ නිසා අපට අවශ්‍ය බහුතරය පෙන්වන්න ඕන කියන අවස්ථාවේදී අපට ඒ බහුතරය තියෙනවා.


බහුතරය අවශ්‍යයෙන්ම පෙන්වන්න ඕන වෙලාවක් තමයි මේ. ආණ්ඩුවට බහුතරය නැති නිසයි මේ හැම දේකටම හේතුව? ඉතින් බහුතරය තවත් හංගාගෙන ඉන්නේ ඇයි?
අපි ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කළා. අපි ඉදිරි දවස් කිහිපය තුළ ඒ ගැන තීන්දුවක් ගන්නවා. ජනාධිපතිවරයත් අගමැතිවරයත් මේ ගැන 14දා සාකච්ඡා කළා. ඉදිරියේදී විකල්ප දේශපාලන තීන්දු කිහිපයක් ගන්නවා.


ජනතාව බලය දෙනකම් ඉන්නේ නැතිව මහින්ද මහත්තයා බලය ගන්න කලබල වුණා වැඩියි කියා හිතෙන්නේ නැද්ද? ජනතා බලයෙන් 2/3 බලය ගන්න තිබුණ අවස්ථාව දැන් බැහැ නේද?
ඒක කෙනෙකුට කියන්න පුළුවන්. මටත් පෞද්ගලිකව එහෙම හිතෙනවා. තව අවුරුද්දක් ඉඳලා මැතිවරණයකට ගියා නම් අපට විශිෂ්ට ජයක් ගන්න තිබුණා කියා. හැබැයි ලබන අවුරුද්දේ ඡන්දයකට යනකොට අපට රටක් තියෙයිද කිය අභියෝගය ආවා. මොකද අලුත් ව්‍යවස්ථාව සම්මත කරලා රාජ්‍ය දේපොළ ටික විකුණලා. ගිවිසුම්ටික අස්සන් කරල රට විකුණල තිබුණා නම් අපිට රටක් අරගෙන වැඩක් නැහැ. ඒ විතරක් නොවෙයි ජනාධිපති, හිටපු ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතනය කරන්නත් හැදුවා. සාක්ෂි සහිතව ඒක ඔප්පු වුණා.


ජනාධිපති ඝාතන සැලසුම හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු ජනාධිපති ඝාතන සැලැසුම පොහොට්ටුවේම නිර්මාණයක් බව ඔප්පු වෙලා ඉවරයි. ඒකට සාක්ෂි තිබෙනවා කියායි එජාපය කියන්නේ? මොකද මේ චෝදනාව නැත්නම් පැමිණිල්ල කළ පුද්ගලයා දිගාමඬුල්ලෙන් පොහොට්ටුවට එකතුවී ඡන්දය ඉල්ලන්න නේද හදන්නේ?
කවුද කියන්නේ. 14 වැනිදා මාධ්‍ය හරහා ඒ බව වාර්තා කළා?

කවුද දිගාමඬුල්ලෙන් ඡන්දෙට එන්නේ.


නාමල් කුමාර?
හරි නාමල් කුමාරගේ මැතිවරණයට ඉල්ලීම හා පැමිණිල්ල අතර දෙකක් වෙන්න බැහැනේ. එහෙනම් ඩී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවේ තියාගෙන ඉන්නේ ඇයි? මේ සිද්ධිය හරහා ඔහු ප්‍රසිද්ධ වුණ නිසා ඡන්දය ඉල්ලනවා කියා හිතනවා ඇති. හැබැයි එක දෙයක් පැහැදිලියි මේ ඝාතන කුමන්ත්‍රණය ගැන සාක්ෂි සහිතව ඔප්පු වෙලා ඉවරයි.


ඝාතන සැලැසුම ගැන සොයා බැලීම ඉවරද?
නැහැ. සොයනවා.


පරීක්ෂණ ඉදිරියට යන බවක් පෙනෙන්නේ නැහැනේ?
ඒක තමයි මේ ආණ්ඩු දෙක අතර වෙනස ඇයි මේ වන විට බැඳුම්කර මංකොල්ලය එළියටදාන්න බැරි. බැඳුම්කර චෝදනා ලබපු අයව අත්අඩංගුවට ගන්න බැරි. එජාපය ආවානම් මේවා එළියට දාල නඩු දාලා.


බැඳුම්කර සිද්ධිය වගේම ජනාධිපති ඝාතන සැලසුම බරපතළයි. ඒ ගැන හොයන්න එපැයි?
ඒ පරීක්ෂණ හරියට සිදුවෙනවා. අපේ දේශපාලන පළිගැනීම් නැහැ. ඒකයි වෙනස. බැඳුම්කරයෙන් මුදල් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කීදෙනෙක් අහුවෙලා ඉන්නවද. ඒ අයව අධිකරණයට ඉදිරිපත් කළාද? අපි ටොප් 10 එකට ඇමැතිවරු දස දෙනෙක් ගැන දැම්මා. අඩුම තරමේ තාම උත්තරයක්වත් නැහැ. පත් වෙච්ච ආණ්ඩුවත් හරියට වැඩේ කළේ නැහැ.


රනිල්, එපා එජාපයේ වෙන කෙනකුට අගමැතිකම දෙන්න ජනාධිපතිවරයා ලෑස්තියි කියා එජාපයට පණිවුඩ එවලා තිබුණා. දේශපාලන ආරංචි මාර්ග අනුව වාර්තා වුණේ එහෙමයි. එහෙම වුණොත් මහින්ද මහත්තයට මොකද වෙන්නේ?
නැහැ. ජනාධිපතිවරයා එහෙම කියලා නැහැ.


එජාපයට 15 දා ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කිව්වේ මේ ගැන කතා කරන්න නේද?
මහින්ද රාජපක්ෂ මහතාටයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ දෙදෙනා අතර අපි කවුරුත් නොහිතන අවබෝධයක් තියෙනවා. ඒ අනුවයි ඒ දෙදෙනා කටයුතු කරන්නේ. ඉදිරියේදී ගනු ලබන ඕනෑම තීරණයක් ඒ දෙදෙනා සාකච්ඡා කරලා ගනීවි.


ඔය අවබෝධය 2015 ජනවාරි 8 පෙර තිබුණේ නැහැ නේද?
නැහැ. එහෙම අවබෝධයක් තිබුණා නම් වෙනම ඡන්දය ඉල්ලන්නේ නෑනේ. එනිසා කාලයත් එක්ක ඒ මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට දෙමළ ජාතික සන්ධානයයි ජාතික හෙළ උරුමයි අතර බැඳීමක් තිබෙන්නේ. කාලයත් එක්ක විරෝධ මත දරපු අය එක් වෙනවා.


ඇත්තටම ආණ්ඩුවට බහුතරය නැහැනේ. ඒක පිළිගන්න බැරි ඇයි?
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා කඩිමුඩියේ වැඩ කරන්න අපි ලෑස්ති නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. අපට ඡන්දයකට යන්න ඕන අවස්ථාවක් තිබුණොත් අපි ඡන්දයකට යනවා. එතකොට අපි බහුතරය පෙන්වනවා. ඔබ මුලින් කිව්වා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව 14 පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් බහුතරය හිටියා කියා.

ඔව්.


ඇයි දැන් බහුතරය නැද්ද?
පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් අපට බහුතරය තිබුණා. අපට 105ක් හිටියා මනුෂ යන්න කලින්. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ සිවශක්ති ආනන්දන් සමඟ තව පස් දෙනෙක් හිටියා එතකොට හයයි. මුස්ලිම් පක්ෂවලින් ඉවත්වෙලා එන්න හය දෙනෙක් හිටියා. වතුකරේ පක්ෂවලින් ඉවත්වෙලා දෙන්නෙක් අපිට එකතුවෙන්න හිටියා. අපේ 113 පැනපු ගමන් එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරු විශාල ප්‍රමාණයක් හිටියා. නමුත් 14 පාර්ලිමේන්තු කැඳවලා බහුතරය පෙන්නා ගැනීමේ කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. ඒ බහුතරය පෙන්වන්න අපට හොඳටම අවස්ථාව තිබුණා.


ඉතින් ඇයි බහුතරය පෙන්නුවේ නැත්තේ?
එදා පාර්ලිමේන්තුව කැඳවලා මේ විදියටම කථානායක හැසිරුණා නම් බරපතළ තත්ත්වයක් වෙන්න තිබුණා. මොකද ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ගත් තීරණ කථානායකවරයා අභියෝගයකට ලක් කළා. එතැනදි පාර්ලිමේන්තුවේ ගුටි හුවමාරුවක් ගාලගෝට්ටියක්, මිනී මැරුමක් වගේ බරපතළ කාරණා වෙන්න තිබුණා. ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් හදන්නයි පාර්ලිමේන්තුව විසුරුවේ. අපට පහුගිය 14 වැනිදා 113 බහුතරය ගැනීමේ අවස්ථාව තිබුණා. ඊට අමතරව එජාපයේ අපි නොහිතපු අය අපි එක්ක එකතුවෙන්න හිටියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ දැවැන්තයෝ අපි එක්ක කතා කළා. අපි අවසන් මොහොත දක්වා ඇමැතිකම් භාර නොගෙන හිටියේ ඔවුන් එන නිසයි. නමුත් අවසානයේ තීන්දු වුණා පාර්ලිමේන්තුව විසුරුවන්න.


ඒ ක්‍රියාමාර්ගය බිඳ වැටුණේ කාගේ වරදින්ද?
මට ඒ පිළිබඳ මතය දරන්න බැහැ. මම හිතන්නේ අපි 14 පාර්ලිමේන්තු යන්න තිබුණා. අපිට බහුතරය හැදීමේ අවස්ථාව තිබුණා.


ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා 132ක බහුතරය හදලා ඉවරයි? ඒ නිසයි පාර්ලිමේන්තුව විසුරුවේ? ඒක නේද ඇත්ත?
රනිල් වික්‍රමසිංහට 132ක් තියා රනිල් වික්‍රමසිංහට 85ක් හිටියේ නැහැ. අදත් රනිල්ට බහුතරය නැහැ. රනිල් අගමැති කරන්න කියා එජාපයට බහුතරය ගන්න බැහැ. පාර්ලිමේන්තුව කැඳවන්න සහ ආණ්ඩුව පත් කිරීම පිළිබඳවයි මේ විරෝධතාව.


ඒ කියන්නේ ආණ්ඩුව දැන් බහුතරය නැහැ කියා පිළිගන්නවා එහෙමද?
අපිට බහුතරය ඉන්නවා. වෙලාවට පෙන්වනවා. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව 14 පාර්ලිමේන්තු ගියා නම් අපිට බහුතරය පෙන්වන්න තිබුණා. අපි ඒ අවස්ථාව මඟහැර ගත්තා. අපට 113 හදාගෙන 120කට වඩා පිරිසක් හදාගන්න තිබ්බා. නමුත් අපි ඒ අවස්ථාව මඟ හැර ගත්තා.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon