ජවිපෙ පෙරට ආවේ විනාශකාරී දේශපාලන කුමන්ත්‍රණය පරදවන්නයි

  👤  3005 readers have read this article !
By mawbima 2018-11-18

රනිල්ට හෝ මහින්දට ඔටුණු පැළඳවීමට ජවිපෙට කිසිදු වුවමනාවක් නැතැයි පැවැසූ ජවිපෙ 2015 මහින්දගේ ඔටුන්න ගලවා දැම්මා. එතකොට ඔටුන්න හිමි කුමරු දිගටම රනිල් වික්‍රමසිංහද?


කිසිසේත්ම නැහැ. රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේදීද ජවිපෙ රනිල් වික්‍රමසිංහ නෙරපා හැරීම සඳහා ඡන්දේ පාවිච්චි කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හා ජනාධිපතිවරයා කුමන්ත්‍රණකාරී ලෙස රටේ ව්‍යවස්ථාවට පටහැනිව, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව, ජනවරමට පටහැනිව දෙන්නෙක් එකකු වෙලා හඳපානේ ආණ්ඩුවක් හැදුවා. මෙවැනි සිදුවීමක් වෙන රටක වුණා නම් එය මහා ලේ වැගිරීමක් වෙනවා. නමුත් අපේ රටේ ජනතාව ඒ දක්වා ගමන් කළේ නැහැ. මෙවැනි ආකාරයේ ආණ්ඩු පෙරළිවලට, දේශපාලන කුමන්ත්‍රණවලට අපි ඉඩ දෙනවා නම් නැවත නැවතත් මෙය සිදුවේ නම් රටේ මහා ලේ ගංගාවක් ඇති වෙනවා. ඒ විනාශකාරී දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට තමයි ජවිපෙ පෙරට ආවේ. ඒ නිසා අපේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදයට ඔටුණු පැළඳවීමයි.


සියල්ල විකිණු­ රනිල් වික්‍රමසිංහ මිලට ගත් එකම පක්ෂය ජවිපෙ කියලා මතයක් පැතිරෙනවා


කවුද කියන්නේ. කොහෙද තිබුණෙ. අපි මුදල් ගත්තා නම් ගත්තු මුදල් ප්‍රමාණය කීයද? අපි පක්ෂයක් විදියට ඔය මඩවලට උත්තර දෙන්න බැඳිලා නෑ. එහෙම චෝදනාවක් කරන කෙනෙක් ඉන්නවා නම් සාක්ෂි පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඔය වගේ මඩ නිර්මාණය කරන්නෙ සමාජජාලා. ජනතාව අතර එවැනි මතයක් නැහැ.


ඔබ කියනවා ජනපති විසින් නව අගමැතිවරයෙක් සහ ඇමැති මණ්ඩලයක් පත් කළ යුතු බව. නමුත් 7 වැනිදායින් පසු ලැබෙන නඩු තීන්දුව එනතුරු එය කළ හැකිද?
පසුගිය 26දා කුමන්ත්‍රණකාරීව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ මැතිවරණයකින්. එක්කෝ පාර්ලිමේන්තු බහුතරයකින්. එක්කෝ මහා මහජන පෙරළියකින්. නමුත් ඒ කිසිවකින් මේ ආණ්ඩුව පිහිටුවනු ලැබුවෙ නෑ. ඉන් නතර නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමට අවස්ථාවක් නොදී පාර්ලිමේන්තුව කල් දැමුවා. ඒ මන්ත්‍රිවරු සල්ලිවලට අරන් බහුතරය හදා ගන්න. අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර දැමුවා. ඒ බහුතරය නැති නිසා ජනාධිපතිවරයටත් තව තනි කෙනෙකුටත් එක්ව රටේ ආණ්ඩුව හදන්න බැහැ. යම් නිශ්චිත මොහොතක වලංගු පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් හඳන එක. ඒනිසා පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභාංගය අනුව දැන් රටේ ආණ්ඩුවක් නෑ. ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.


7 වැනිදා අධිකරණයෙන් ලැබෙන තීන්දුව ජවිපෙ බලාපොරොත්තු වන තීන්දුව බවට පත් නොවුනොත් මොකද වෙන්නේ?
පළමු ජයග්‍රහණය අධිකරණයෙන් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස, තක්කඩි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලද යෝජනාව අත්හිටුවා තිබෙනවා. අපි විශ්වාස කරනවා අධිකරණය තුළින් මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගය මුළුමනින්ම නතර කරන්න තීන්දුවක් ලබාදේවි කියා. එයින් හැඟෙන්නේ නැහැ ඡන්දයක් අවශ්‍ය නැහැ කියලා. අපි කියන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයකින් මැතිවරණයකට යෑමට අපි එකඟයි.


නව අගමැති මහින්ද රාජපක්ෂ ජවිපෙ අගය කිරීමකට ලක් කළා මැතිවරණයකට යෑමට එකඟ වීම ගැන මොකද හිතෙන්නෙ.


එම මැතිවරණයට යා යුත්තෙ බලහත්කාරී ලෙස ආණ්ඩුවක් හදාගන්න නොවේ. අපි දන්නවා 26දා රාත්‍රියේ කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හදාගෙන අගමැතිවරු පත් කරලා, අමාත්‍යවරු පත් කරලා, පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා අතට අරගෙන, රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අතට අරගෙන මේ කරන්න හදන්නෙ රාජපක්ෂලාගේ 2010, 2015 පන්නයේ මැතිවරණ. රාත්‍රි 7ට ඇමැතිකම අරගෙන, 8ට අභයාරාම පන්සලට ගිහිල්ලා, රෑ 9ට නිවාස අමාත්‍යාංශයේ වැඩ භාරගෙන, රෑ 12ට පාර්ලිමේන්තුව විසුරුවනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී ඡන්දයක් විමසීම සඳහා කරන උත්සාහ, පහර දීම්, තර්ජනය කිරීම් කරලා බාධා කරනවා. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නෙ බලහත්කාරී හා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් අටවාගෙන ඒ ආණ්ඩු බලය උපයෝගී කරගෙන ඡන්දවලට යන්න. රටේ ඡන්දෙකට පෙර විශ්වාසභංග යෝජනාවේ සම්මත වූ පරිදි නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.


ඔබ කියන්නෙ මැතිවරණයකට යෑමට පෙර නීත්‍යානුකූලව ආණ්ඩුව පෙරළිය යුතු බවද?
ඔව්. දැන් සිදු කරන්නෙ අමාත්‍යධුර තබාගෙන වාහන ඇතුළු බලතල හා වරප්‍රසාද තබාගෙන ඡන්දයකට යෑමයි.


ශේ්‍රෂ්ඨාධිකරණය ලබා දුන්නෙ අතුරු තහනම් නියෝගයක් පමණයි. නමුත් පසුගිය 13 සිට ඔබේ පක්ෂය හැසිරුණේ සමස්ත තීන්දුව ලැබුණු ආකාරයට. ඇයි මේ විදියට ජනතාව නොමඟ යවන්නෙ?


පළමු කොටම ඒ අතුරු තහනම් නියෝගය හරහා තමයි පාර්ලිමේන්තුව කැඳවීමට අවස්ථාව ලැබුණේ. එසේ නැතිනම් පාර්ලිමේන්තුව කැඳවන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව කැඳවූ නිසා තමයි කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට බහුතර බලයක් නැති බව ඔප්පු වුණේ. ඒ නිසා අවසන් තීන්දුව ලබා දීමට පෙර අතුරු තහනම් නියෝගයෙන් පවා විශාල ජයග්‍රහණ රැසක් අත් වී තිබෙනවා.


සිදුවූ ක්‍රියාදායමට අනුව මෙහි තිබෙන්නෙ ව්‍යවස්ථාමය ගැටලුවට වඩා සදාචාර සම්පන්න ගැටලුවක් බව ඔබේ පක්ෂයත්, මෙරට විද්වතුන්, බුද්ධිමතුන් පවා ප්‍රකාශ කළා. එසේ නම් අහිංසක ජනතාවගේ කෝටි 1500කට අධික මුදලක් බැඳුම්කර ගනුදෙනුවෙන් අහිමි කරද්දී රටේ දේපළ පවරද්දී, මැති ඇමැතිවරුන්ගේ සැප වාහනවලට කෝටි ගණන් යට කරද්දී ඊට එරෙහිව 2/3කට විශ්වාසභංගයක් නොගෙනාපු ජවිපෙ දවස් 25ක් ගෙවෙන්නත් කලින් මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා ?
ඒ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. අප නොවුණත් රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා.


නමුත් ඒ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ පසුගිය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම.


රවි කරුනානායකට එරෙහි අපි විශ්වාසභංග යෝජනාව කථානායකට බාර දුන්නා. බාර දුන්නට පස්සෙ බන්දුල ගුණවර්ධන තව එකක් බාර දුන්නේ. ඒ නිසා තමයි අපේ විශ්වාසභංගය බාරගන්න බැරි වුණේ. ඒ වගේම පසුගිය ආණ්ඩුව පරාජය කරන්න තිබුණා. ඉතා වැදගත් අවස්ථාවක් තමයි අය-වැය ලේඛනය. ඒ හින්දා ඒ විනාශකාරී ගමන පරාජය කරන්න පුළුවන්කම ලැබෙනවා අය-වැය ලේඛනය පරාජයට පත් කරන්න හැකියාව ලැබුණා නම්. නමුත් ඒ හැම අය-වැය ලේඛනයකදීම මහින්ද රාජපක්ෂ ඡන්දය නොදී මඟහැරියා. ඒ වගේම බැඳුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ වාර්තාව ඉදිරිපත් කරලා ඒ වාර්තාව මත පදනම්ව නීතිපතිට නඩු ගොනු කරන්න කියලා අපි විශාල බලපෑමක් කළා. ඒ නිසා පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් මේ අවුරුදු තුන හමාර තුළ රනිල් වික්‍රමසිංහගේ විනාශකාරී ආර්ථික ගමනත් විනාශකාරී දේශපාලන ගමනත් මහජනයාගේ දේපළ හොරකම් කිරීමේ විනාශකාරී ගමනත් පරාජයට පත් කිරීම සඳහා ජවිපෙ විශාල කාර්යභාරයක් ඉටුකොට තිබෙනවා.


නමුත් මෙවර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී ජවිපෙ පෙරමුණේ රාළ බවට පත්වුණා. එතැන ‍ෙ න්ද වැරදුණේ කියන ස්වයං විවේචනයක් ඔබලාට මතු දිනෙක ඉදිරිපත් කරන්නටත් වෙයිද?


කිසිසේත්ම නෑ. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම හේතු කොටගෙන ඊට විශාල ලෙස ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවුණා. දේශපාලන ව්‍යාපාරයක් අපි. ජේ.ආර්. ජයවර්ධන 1977 බලය ඇවිල්ලා ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය අකුළන සිතියම දියත් කළා. ඒක කෙළවර වුණේ අපේ පක්ෂයේ සාමාජිකයන්, හිතවතුන්, ක්‍රියාකාරීන් 60,000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරලා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමෙන් විශාල ලෙස බැට කාපු දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ වගේම මහින්ද රාජපක්‍ෂගේ කළු දශකයේදී ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම හේතු කොට ගෙන මාධ්‍යවේදීන් ඝාතනය වුණා.

මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. පුරවැසියන්ගේ සාධාරණ උද්ඝෝෂණවලට වෙඩි තිබ්බා. අපේ නන්දන බාලගේ සහෝදරයා ගම්පහදී වෙඩි තියලා ඝාතනය කළා. නලින්ද ජයතිස්ස සහෝදරයා රැස්වීමක් අමතන තැනට ජුලම්පිටියේ අමරේ වැනි පාතාල නායකයන් දාලා වෙඩි තියලා ඝාතනය කළා. ජනතාවගේ උද්ඝෝෂණවලට වෙඩි තිබ්බා. ප්‍රජාතන්ත්‍රවාදය ඇකිළීමේ මහා විපත්තිදායක කරුණු ඕනෑවටත් වඩා මේ රටේ ජනතාව අත්විඳ තියෙනවා. ඒ නිසයි ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී හෝ තිබෙන අනතුරක් සිදුවන්න තිබෙන ඕනෑම මොහොකදී ඊට එරෙහිව පෙරට එන්නෙ. ඒ නිසාමයි මේ යෝජනාව ගේන්නේ. ඊට සුජාත අයිතියක් තියෙනවා.


ඔබේ පක්‍ෂ සාමාජිකයන් 60,000ක් ඝාතනය වූ ඉතිහාසය මතක් කළා. මං මෙහෙම අහනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට පෙර ඔබේ පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ පාර්ශ්වය සමඟ තිබෙන ගනුදෙනුව නේද විස¼දාගත යුත්තේ කියලා?


1971ත් ශ්‍රී ලනිපය ප්‍රමුඛ ආණ්ඩුව අපේ සහෝදරයන් ඝාතනය කළා. 88, 89දීත් ඝාතනය කරනු ලැබුවා. අපේ පළමු කරුණ නැවත එවැනි මර්දනකාරී වටපිටාවක් යළි ඇතිවීම වැළැක්වීමයි. ඊළඟ අත්‍යවශ්‍ය පියවර තමයි එම ඝාතකයන්ට දඬුවම් ලබාදීම. හැබැයි කිසිසේත්ම ඝාතකයන් නියෝජනය කරන ආණ්ඩුවකින් ඝාතකයන්ගෙන් සැදුම්ලත් පාලනයකින් ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉටුවෙයි කියලා අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ.


මීට වසර දෙක තුනකට පෙර ඔබ පක්‍ෂයම අප පුවත්පතට කියා සිටියා රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂ සාමාජිකයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලීමට ක්‍රියාමාර්ග ගන්නා බව. එය අමතකද? නැති නම් කාලයාගේ ඇවෑමෙන් අමතක කිරීමට සිදුවෙලාද?


අතුරුදන් වූවන් පිළිබඳ අධිකාරිය පිහිටුවන අවස්ථාවේදී ඒ අධිකාරිය සඳහා මෙම ඝාතනයන්වලට අදාළ සියලුදෙනා පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා බල කරන්න අපි කටයුතු කරනවා. තවමත් ඒ අධිකාරිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැහැ.


අගමැති රනිල් වික්‍රමසිංහ ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් පසු බොහොම උදේ‍යා්ගයෙන් පැවැසුවා ඔහුට 122ක බහුතර බලය තිබෙන බව. එහි ඔබ ඇතුළු ජවිපෙ මන්ත්‍රින් 6ක් සිටිනවා. ඔබ උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ඇත්ත රටට හෙළි කරනවා?


රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ වාඩි කරවන්න හරි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හදන්න හරි, ජවිපෙ 6 දෙනා අත ඔසවන්නෙ නැති බව සහතික කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හෙට ගොඩනැඟිලා ඊට එරෙහිව අනිද්දා විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා නම් ඔහුගේ අර පරණ අවුරුදු තුනහමාරේ කාල පරිච්ඡේදයට අදාළව ඒ විශ්වාසභංගයට පක්‍ෂව කටයුතු කරන්නත් අපි සූදානම්. රනිල් වික්‍රමසිංහ තමා වැටී තිබෙන දේශපාලන අගාධයෙන් ගොඩ ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණ උපයෝගී කරගන්න උත්සාහ දරන බව අපි දන්නවා. හැබැයි ජවිපෙ මහින්දගේ හෝ රනිල්ගේ කිසිදු කඳවුරක බල වුවමනාවේ න්‍යා්‍ය පත්‍රයේ ගැටගහන්න ඉඩ නොදෙන බව සහතික කරනවා. අපි රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංගයට සහය දෙද්දී අපි මහින්ද එක්ක ගැටගහන්න හදනවා. අපි මහින්දට විශ්වාසභංගය ගේනකොට රනිල් එක්ක ගැට ගහන්න උත්සාහ කරනවා. අපි ඒ අවලාද, අසත්‍ය චෝදනාවලට යටත් වෙන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක්. සත්‍ය තියෙන්නෙ එකයි.
රනිල් වික්‍රමසිංහ ජවිපෙ ඡන්ද අලෙවි කරන කොට ඇයි ජවිපෙට ආවේගයක් නොඑන්නේ?


අපි ඕනෑවටත් වඩා කියලා තිබෙනවා. ඕනෑවටත් වඩා අපි ඔප්පු කොට තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ බල සූදුවේ කොටස්කරුවන් බවට නම් ජවිපෙ පත්වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහට දවල් හීන දකින්න, රාත්‍රි හීන දකින්න අයිතිය තිබෙනවා. හැබැයි අපි ජවිපෙ ස්ථාවරය නිවැරැදි ලෙස රටටම ඔප්පු කොට තිබෙනවා.


පසුගිය (14දා) වැනිදා පාර්ලිමේන්තු පටිපාටිය නිවැරැදිව සිදු නොවූ බව ස්ථාවර නියෝග කඩවූ බවට ජනාධිපතිවරයා කථානායකවරයාට ඍජුවම චෝදනා කළා?
ජනාධිපතිවරයාට මේ රටේ ව්‍යවස්ථාව, නීති ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඔප්පු වී තිබෙනවා ඔහුගේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අත්හිටුවූ බවට. අවස්ථා ගණනකදී ඔහු ව්‍යවස්ථා කඩලා තිබෙනවා. නීති කඩපු, ව්‍යවස්ථා කඩපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ රීති ගැන කතා කිරීම තරම් හාස්‍යජනක දෙයක් තවත් නැහැ. ඒ නිසා රීතීන් අත්හිටුවීම සඳහාත් රීතිවලම අඩංගු වී තිබෙනවා. අපි විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර ඒ වෙනුවෙන් මුලින්ම අපි රීතීන් අත්හිටුවනු ලැබුවා. ඒ නිසා රාජපක්‍ෂ කඳවුර ඉස්සර වෙලාම පරාද වුණේ එම රීතීන් අත්හිටුවීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව තමයි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුණේ. ඒ වෙලාවේ රාජපක්‍ෂ කණ්ඩායම කලබල වුණා. ඔවුන්ට ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව ඔවුන් දන්නවා.


ඒ නිසා ඔවුන් විශාල උත්සායක යෙදුණා ඒ විවාදය කඩාකප්පල් කරන්න. කථානායකවරයාට තර්ජනය කරමින් ඔහු වාඩි වී සිටි තැන වටලමින් උත්සාහ දරුවා. නමුත් කථානායක ඒ වෙලාවේ නිර්භය ලෙස ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඡන්ද විමසීමක් හරහා විශ්වාසභංගයේදී කටයුතු කළා.


ඔය විශ්වාසභංග යෝජනාව කූට ලේඛනයක් බවට ප්‍රබල චෝදනාවක් එල්ල වුණා?
අපි 6 දෙනා අස්සන් ගැන අපි වගකියනවා. හැබැයි අරුම පුදුම දේ කුමන හරි අස්සනක් පිළිබඳව එවැනි අස්සනක් ගැහුවේ නෑ කියලා කියන්න ඕනෑ අස්සන් කරපු කෙනා. හැබැයි ඒ 122 කිසි කෙනෙක් කියන්නෙ නෑ මගෙ අස්සන මෙතැන නෑ කියලා. කොහෙවත් ඉන්න මෛත්‍රිපාල කොහොමද කියන්නේ ඒ අස්සන් නෑ කියලා.


නමුත් චෝදනාව තියෙන්නේ යෝජනාවේ පරණ දිනයක් මකා ප්‍රයෝජනයට ගත් බවයි?
දිනය පිළිබඳ නෙවෙයි ප්‍රශ්නය තිබෙන්නේ. වැදගත් වෙන්නේ අස්සන්. එතකොට ඒ මන්ත්‍රිවරු 122ම කියනවා මේ අස්සන් තමන්ගෙ කියලා. මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ මුග්ධ, උමතු ක්‍රියාවන් ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාවේ හිල්, අස්සන්වල තීන්ත පාරවල් හොයන්න තරම් ලැජ්ජා නැති ස්වභාවයකට පත්වීම ගැන කනගාටු වෙනවා. ජනාධිපතිවරයා මේ හෑල්ලු කරන්නෙ මෛත්‍රිපාල නෙමේ. ජනාධිපති ධුරය කියලා මං ඔහුට මතක් කරනවා.


රාජ්‍ය නායකයා ලෙස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ වූ බව අසත්‍යයක් නම් ඔහු ලිඛිතව දැනුම් දෙන්නෙ කොහොමද?
ඔහු බොරු කියන නායකයෙක් නෙමේ. ඔහු බොරු පිඹින නායකයෙක්. ඔහු මා එක්ක යම් සාකච්ඡාවකට ආවා. ඔහු මා ඉදිරියේ කරන ලද බොරු මට ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා ඔහු කියන ඒවා තවදුරටත් මේ සමාජය පිළිනොගත යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.


ඒ වගේම මේ චෝදනාවලට ඇතුළත් වෙනවා ඡන්දය භාවිතයේදී යාන්ත්‍රික ඉලෙක්ට්‍රෝනික භාවිතයක් හෝ සංඛ්‍යාවක් පෙන්නුම් නොකළ බව. මා ඔබෙන් පුන පුනා ප්‍රශ්න කරන්නේ මෙය ඔබලාගේ විශ්වාසභංග යෝජනාවක් නිසයි. එසේ වූවා නම් ජවිපෙ වගකිව යුතුයි නේද?


කථානායකවරයා මේ ඡන්ද භාවිතයේදී නමින් නමට කතා කරන්න උත්සාහ කළා. ඒ සඳහා ඔවුන් කිසිදු ඉඩක් දුන්නේ නෑ. ඊට පසු පේළියෙන් පේළියට ඡන්ද ගණනය කරන්න උත්සාහ කළා. හැබැයි ඒකටත් ඉඩ දුන්නේ නෑ. ඔවුන්ට කඩාකප්පල්කාරී වුවමනාවක් තිබුණා. මේ ඡන්දය වළක්වන්න. එවැනි කඩාකප්පල්කාරී වුවමනාවන් පාර්ලිමේන්තුවේ සිදුවෙනවා කියන පූර්ණ නිගමනයට අනුව තමයි ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන, කථානායකවරයා හඬ අනුව ඒ යෝජනාවට පක්‍ෂද, විපක්‍ෂද කියන කරුණට ඡන්දය විමසන්න කටයුතු කළේ. ඉන් අනතුරුව කථානායකවරයාට තවත් සැකයක් තිබෙනවා නම් තමයි 122ක අස්සන් ලිපියක් දුන්නෙ. මේ යෝජනාව සහ අස්සන් ලේඛනය මෛත්‍රිපාල මහතාට යවා තිබෙනවා. ඒ නිසා ඔහුට මඟහරින්න පුළුවන්කමක් නෑ.


මන්ත්‍රිවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් ගෙනාපු ජවිපෙ පසුගිය 14දා ඒ සිල් පදය බිඳදැමූ බවට සාක්‍ෂි පෙන්නුම් කළා. විශේෂයෙන්ම ඔබේ පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්වරයා සභා ගර්භයේදී හැසිරුණු ආකාරය ප්‍රබල විවේචනයට ලක්වුණා?


එම හැසිරීම් ක්‍රමය ඉතාමත් යෝග්‍යයි. ඒ වෙලාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා මතු කළා යෝජනාව භාරදී නැහැ කියලා. නමුත් අපි යෝජනාව භාරදී තිබුණා. ඒ නිසා ඒ මොහොතේදීම විජිත හේරත් සහෝදරයා ඒ යෝජනාව භාර දෙනවා. එය නොමනා හැසිරීමක් ලෙස පෙන්නනවා. යෝජනාව ඒ වෙලාවේ භාරදිය යුතුයි. ඊළඟ, පාර්ලිමේන්තුවේ විශාල ඝෝෂාකාරී තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය තුළ අපි නමින් නමට ඡන්දේ විමසුවා. ඒක කථානායකවරයාට ඇහෙන්නෙ නෑ. එවැනි තත්ත්වයක කථානායක ළඟට ගොස් නමින් නමට ඡන්ද විමසන බව කීම තුළ ඇති වරද කුමක්ද?


නමුත් මෙතෙක් රටටම ආදර්ශයක් දුන් ජවිපෙත් පාර්ලිමේන්තුවේ එසේ ආවේගකාරී ලෙස හැසිරීම සුබ නිමිත්තක් නෙවෙයි නේද?
නෑ. ඊට පසු දිනත් පාර්ලිමේන්තුවේ විශාල ගාලගෝට්ටියක් තිබුණා. අපි ජවිපෙ කිසිවෙක් නැඟිට්ටෙ නෑ. එය ඔබත් දකින්න ඇති. මාධ්‍ය සන්දර්ශන මවා පෑම ගැන අපි කනගාටු වෙනවා.

මුත් ඊව්ඒ, උව්ර්ථී පක්‍ෂ සමඟ ජවිපෙ මුල් වෙලා ප්‍රබල සටනක් කරද්දී එය විශේෂයෙන් ඔබේ පක්‍ෂයට හොඳ ලකුණක් නොවන බව ඔබ පිළිගන්නේ නැද්ද?
රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය හොර මුරකරු බවත් අපි දන්නවා. අපිට ඊව්ඒද උව්ර්ථීද මොකක්ද කියන එක අදාළ නෑ. රනිල්ගේ අවුරුදු තුනහමාර පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු නොකළ බවත් අපි දන්නවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය, සත්‍ය වෙනුවෙන් සටනක් කරද්දී තව අය වංකව හෝ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට අපි මොනවද කරන්නේ?


මම තව වටයකින් ඔබෙන් විමසනවා. ජවිපෙ දුටු මේ ආවේගයේ ඇත්ත හේතුව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයද? නැති නම් රාජපක්‍ෂ කණ්ඩායම බලයට පැමිණීමේ දරාගත නොහැකි ආවේගයද?


රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව ප්‍රබලව සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. ඔඩොක්කු මැක්කන්ගේ වහසිබස්වලට යටත්ව ක්‍රියාකරන දේශපාලන ව්‍යාපාරයක් නොවේ අපි. නමුත් අපි කල්පනා කරනවා රාජපක්‍ෂලාද, මෛත්‍රිලාද, රනිල්ලාද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මහජනයා වෙත මර්දනයෙන් රට තුළ ලේ වැගිරීම් නිර්මාණය කරන, රටේ නායකයා උමතු ලෙස කටයුතු කරන කොට, මුළු රට අස්ථාවරභාවයට පත් කරන කොට, තව තවත් ඒ ක්‍රියාමාර්ගවලට යද්දී ජවිපෙට හැකි වගකීමක් තිබෙනවා එය පාලනය කරන්න. ජනතාව අපිට ඡන්දය දෙන්නෙ ඒකට.


ජවිපෙට රාජපක්‍ෂ කණ්ඩායම ගැන ප්‍රබල දේශපාලන විවේචනයක් තිබෙනවා. ඒ වගේම ඉතා කෙටි කලකින් ජනතාව අතර ප්‍රබල විවේචනයට ලක්වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවටත් ඔබලා විවේචන එල්ල කළා. නමුත් මෙවැනි අවස්ථාවක ජවිපෙ සිටිය යුත්තේ මැද නේද?


අපි මේ මොහොතේ සිටිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙ.
එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියා සිටගත යුත්තේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේද? මෙවැනි ගැටලුවක් ජනතාවට පැන නඟිනවා?
නෑ. කිසිසේත්ම නෑ. රනිල්ට කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරණ මුරකරුවෙක් වෙන්න බෑ.


ඔබේ පක්‍ෂයේ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ප්‍රකාශ කළා විජේවීර නැවත ඉපදිලා ඔහුට අගමැතිකමද මේ ජවිපෙ දෙන්න යන්නේ කියන අදහසක්?
විජේවීර සහෝදරයා දේශපාලනය කළේ නිස්සරණාධ්‍යාසයෙන්. රාජ්‍ය දේපළ උපයෝගී කරගෙන, තට්ටු ගණන් ගෙවල් හදාගෙන, හතර වටේ ඥාතීන්ට රජයේ ගෙවල් බෙදලා, ආණ්ඩුවේ වාහන බෙදලා, මුළු දේශපාලන ජීවිතයම රාජපක්ෂගේ සුරතලා වෙලා, පෞද්ගලික හා දේශපාලන ජීවිතය මජර ලෙස ගතවූ කෙනෙක් විජේවීර සහෝදරයාගේ දර්ශනය ගැන කීම තරම් ඔහුට කරන තවත් අපහාසයක් නෑ. අඩුම තරමේ මං ඔහුට කියනවා විජේවීර සහෝදරයාගේ නමත් ඔහුගේ මුඛයෙන් කීම තමයි රෝහණ සහෝදරයාට කරන එකම අපහාසය කියලා.


ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ අනුර දිසානායකත් සිටිනවාද?
ඒක පක්‍ෂය තීරණය කරයි.


නමුත් ඔබයි අපේක්‍ෂකයා කියලා ආරංචියි?
ආරංචි සියල්ලම සත්‍ය නෙවේනේ.


එදාට වඩා අද ප්‍රජාතන්ත්‍රවාදයේ සළුවට මුවා වෙලා අනුර රනිල්ගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් නේද මේ කරන්නේ කියන පැහැදිලි ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලබාදීමට සුදුසුම මේ මොහොත බව හිතනවා?


දේශප්‍රේමීත්වයෙන් රට බේරා ගැනීමේ සළුවට මුවාවෙලා මහින්ද රාජපක්‍ෂ මේ රටට විශාල විනාශයක් කරනවා. විදෙස් සබඳතා, ජාත්‍යන්තර නායකයන් කියන සළුවට මුවා වෙලා රනිල් වික්‍රමසිංහලාත් මේ රට විනාශයට ලක් කරමින් විශාල විනාශයක් කළා. ඒ විනාශයන්ට එරෙහිව තමයි ජවිපෙ අදත් මේ සටන් කරන්නේ. පක්‍ෂය ගොඩනැඟුවේ ඒකට. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සටන එකිනෙකාට ඕනෑ ඕනෑ විදියට අර්ථකථනය කරන්න පුළුවන්. අන් කවරක්වත් නොව රාජපක්‍ෂ කඳවුර ඔවුන්ගේ කරට අතදාගන්න තෙක් අපිට මේ ලේබලය අලවනවා.


පසුගියදා සිදුවූ සමස්ත ක්‍රියාවලිය ගත්තාම ඔබලා අධිකරණයට යෑම ජනතාවගේ යම් පැසසුමකට ලක් වුණා. නමුත් නීතිය ක්‍රියාත්මක වන තුරු නොඉඳ ගමේ භාෂාවෙන් නම් කුලප්පු වූ කුළුමීමන් සේ ජවිපෙ හැසිරීම අනුමත නොකරන බවයි ඇතැමුන්ගේ අදහස?


අධිකරණයේදී පරාජයට පත් කරන්න ලැබුණු කුමන්ත්‍රණයේ එක් කොටසක් පමණයි. හැබැයි අනෙක් කොටස පරාජය කිරීමට ලැබුණෙ පාර්ලිමේන්තුවේ. ඒ සඳහා තමයි අපි ඒ පියවරයන් අනුගමනය කළේ.


අද රටට වමේ ව්‍යාපාරයක් අවශ්‍ය බවයි දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය. ඔබ මොකද කියන්නෙ?
අනිවාර්යයෙන් රටට වමක්, විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ විකිණෙන අශිෂ්ට දේශපාලනය වෙනුවට ශිෂ්ට දේශපාලනයක් අවශ්‍යයි. ඒ නිසා වාමාංශික, ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිසුදු දේශපාලනයක් අගයන පුළුල් ව්‍යාපාරයක් අද අත්‍යවශ්‍යයි.


වමේ අදහස් දරන පාර්ශ්ව එක්කර ගත යුතුයි කියලා ඔබලා කිව්වා. ඔබලාගේ ඉවත්වූ කණ්ඩායම නැවත පැමිණියොත් මොකක්ද ගන්න පියවර?
මේ පක්‍ෂය විසින් පක්‍ෂයට ද්‍රෝහිකම් කළ, ඉවත් කළ කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් එක්ක කිසිදු සාකච්ඡාවක් නෑ. ඒ කණ්ඩායම් පසුපස නොමඟ ගිය සාමාජිකයන් ඉන්නවා නම් ඒ අය එක්ක කතා කරන්න අපි සූදානම්.


ඉල් මහ සමරුවේදී ඔබලා කියන කතා සහ ඉන් පිට කියන කතා දෙකක්. පිළිගත යුත්තේ කුමන කතාවද?
එදා සිදුවූ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදය හැකිලූ අත්දැකීම් එක්ක අද අපිට වගකීමක් තියෙනවා ප්‍රබල සටනක් කිරීමට. එය ඉල්මහ විරුවන්ට අතිශය සාධනීය කරුණක්. අපි ඉල්මහ වේදිකාවේදී පෙන්වනු ලැබුවා එදාට වඩා සමාජ ආර්ථික දේශපාලන අර්බුදය උග්‍රවීම අපි පෙන්වා දුන්නා. ඒ ඉතිහාසය පිළිබඳව කරන ඇගයීම අපේ වත්මන් දේශපාලනයේ පහන් තරුව බවට පත් කරගන්න උත්සාහ කරනවා. කිසිදු පරස්පරයක් ඒ තුළ නෑ.
සංවාදය - අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon