මීදුම නිසා අතරමං වෙලා සීතලේ ගැහි ගැහී නිරාහාරව ජර්මන් කතගෙ සිරුර හොයපු ත්‍රාසජනක හමුදා මෙහෙයුම

  👤  3392 readers have read this article !
By mawbima 2018-11-18

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට පිවිසෙන බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ එහි සුන්දරත්වය විඳ ගැනීමටය. මෙහි ලෝකාන්තය නමින් හඳුන්වනු ලබන, නිරතුරු පිනිකැට විහිදෙන, වලාකුළුවලින් සහ ගතට දැනෙන සිසිලසින් ලබන වින්දනය අපූරුය. එහෙත් ලෝකාන්තය ජීවිතයේ අන්තය නොව එය සොඳුරු නවාතැනකි. සුන්දර වූ මෙම වන පියස ජීවිතයේ අසුන්දර මෙන්ම ශෝකාන්තයක් බවට පත් වන අවස්ථාද අසන්නට ලැබීම කෙතරම් අමිහිරිද? එවැනි අමිහිරි සිදුවීම් යළි මතකයට නංවමින් මෑතදී සිදු වූ ඛේදවාචකය පසුබිම් කරගෙන මෙම කතාව ආරම්භ කරමු.


විදෙස් රටක එකම රෝහලක හෙදියන් ලෙස කටයුතු කරන 'නිනන් රෙබයා' සහ අපගේ කතා නායිකාව වන 'ජූලියා හෙල්ගා' යන ජර්මන් ජාතික මිතුරියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ මස 3 වැනිදාය. කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ මෙම දෙදෙනා පළමු දිනයේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක නතර වන්නේ ලෝකයේ දියුණු විශාල රටවලට නොමැති අසිරියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව පවසමිනි. මොවුන්ව මේ සංචාරය සඳහා පැමිණීමට උනන්දු කළ මොවුන් දෙදෙනාගේ එරට මිතුරු මිතුරියන්ටද ශ්‍රී ලංකාවට පැමිණි බව දන්වා ඇත්තේ ඉපිල ගිය සතුටකිනි. ඔවුන්ගේ ගමන්වලදී මනා සේ සහයෝගය දැක්වූ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන හොඳින් දන්නා වසර විස්සක් පමණ විදෙස් සංචාරක රියැදුරකු ලෙස කටයුතු කර, බොහෝ අත්දැකීම් ඇති, නීල් ප්‍රේමතිලක මහතා මොවුන්ගේ රියැදුරා ලෙස තෝරා ගත්හ. ඒ අනුව සීගිරිය, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, නිලාවේලි ඇතුළු ස්ථාන රාශියක සංචාරයේ යෙදෙමින් මේ මස 10 වැනිදා නුවරඑළියට ගියහ. එදින සවස 5.00ට පමණ හෝටලයක නතර වී පසුදා උදෑසනම අවදි වී උදේ ආහාරයද ගෙන ලෝකාන්තය බලා පිටත් වූහ.


නොවැම්බර් 11 වැනිදා ඉරිදා දිනයකි. නිවාඩු දිනයක් බැවින් දෙස් - විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන අතර ලෝකාන්තය නැරැඹීමට සුදුසුම වේලාව වන්නේ පෙ.ව. 6.00 සිට පෙ.ව. 10.30 අතර කාලයයි. මෙම තත්ත්වය නොදැන පැමිණෙන බොහෝ දෙනකුට මතුපිට සිට අඩි 6000ක් පමණ පහළ කොටසේ තිබෙන තේ වතු, තේ කම්හල් පහසුවෙන් නැරැඹීමට නොහැකි වන්නේ තද වලාකුළුවලින් වැසී යන නිසාය. එම තත්ත්වය දැන සිටි මිතුරියන් දෙදෙනා පෙ.ව. 7.00ට පිවිසුම් ස්ථානයේ පිහිටි කවුන්ටරය වෙත පැමිණ ටිකට් පත් දෙක ලබා ගෙන ඇතුළු වී ඇත. එහිදී තමන්ගේ රියැදුරා පිවිසුම අසල නතර වී ටික වේලාවක් හිඳ ඉන් පසුව අසල තිබෙන ආපණශාලාව වෙත ගොස් තේ පානය කළේ පැවැති තද සීතලෙන් ගත උණුසුම් කර ගැනීමටය. මේ වන විට වේලාව පෙ.ව. 8.30ට ආසන්න වී තිබිණි. එවිට උද්‍යානයේ නිලධාරියකු විසින් රේඩියෝ පණිවුඩයක් ලබා දෙනවා ඇසිණි. එයින් කියැවුණේ විදේශීය කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට වැටුණු බවයි. එම පණිවුඩය දී ඇත්තේ ලෝකාන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියටයි.


රියැදුරා මෙම පණිවුඩය ඇසී තරමක් තිගැස්සී ගියේය. වහාම පිවිසුම් ‍ෙදාරටුව වෙත දිව යද්දී වෙනත් විදේශ රටක කාන්තාවන් දෙදෙනකු සමඟ නිනන් රෙබයා නම් තමන් හා පැමිණි අය ඉදිරියට මුණගැසිණි. එවිට ඇය පවසා ඇත්තේ ජූලියා හෙල්ගා පහළට වැටුණා කියාය. එනමුත් සැක හැර ගැනීමට අවශ්‍ය නිසා පිවිසුම් ස්ථානයේ නිලධාරීන්ට කාරණය දන්වා ලෝකාන්තය දෙසට දිව ගොස් විපරම් කර ඇත. එහිදී තමන් හා පැමිණි සංචාරක කාන්තාව මෙම අනතුරට පත් වූ බව දැන අනෙක් තරුණියද සමඟ පට්ටිපොළ පොලිසියට ගොස් සිද්ධිය දැනුම් දී ඇත. ඉන් පසු බළන්ගොඩ පොලිසියට පැමිණ විස්තර පවසා බළන්ගොඩ තානායමේ නතර වී ඇත.


මේ අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිපහකට ආසන්න පිරිසක් ලෝකාන්තයෙන් පහළට බැස්සේ තරුණිය ගසක හෝ රැඳී ඇත්දැයි විපරම් කරමිනි. ඊට හේතුව වූයේ 2015 වසරේදී ලෝකාන්තයෙන් වැටුණු නෙදර්ලන්ත ජාතිකයකු වූ මාර්ටින් ලෝරන්ස් නමැති අය යුද හමුදා සෙබළකු විසින් බේරා ගැනීමට හැකි වූ නිසාය. මේ වන විට වේලාව පෙ.ව. 11.30ට පමණ විය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ලෝකාන්තයෙන් යම් කිසිවකු වැටුණහොත් යළි පතිතවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ පොලිස් වසමේ නන්පේරියල් වත්ත පිහිටි ප්‍රදේශයටය. එම දුර අඩි 6,000ක් පමණ වේ. මේ වන විට බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමනල වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද වනජීවී නිලධාරීන් කිහිප දෙනකුද නන්පේරියල් වත්ත දෙසට පිවිසුණේ අදාළ සිද්ධිය වාර්තා වීමෙන් පසුවය. නමුත් (11දා) සැන්දෑ වනතුරුත් මළසිරුර ගෙන ඒමට හැකි වූයේ නැත. එමෙන්ම ලෝකාන්තය දෙසින් බැස ගත් හමුදා නිලධාරීන් ගැනද කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි වූයේ මෙම කලාපය තුළ දුරකථන සංඥා ක්‍රියාත්මක නොවන හෙයිනි.


පසුදින (12දා) පෙ.ව. 5.00ට පමණ නන්පේරියල් වතුයාය හරහා තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් ලෝකාන්තය ඉහළ කොටසට ගමන් කළේ තම සහෝදර සෙබළුන් මීදුම නිසා අතරමං වී ආහාර පානද නොමැතිව සිටිතැයි සිතා අවශ්‍ය ආහාර පානද රැගෙනය. කෙසේ නමුත් 12දා දින පෙ.ව. 11.00ට ආසන්න වෙද්දී හමුදා කණ්ඩායම් දෙකේම පිරිස එක් වූහ. ඒ අනුව නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි මේජර් අසිත රණවීර හා බදුල්ල හමුදා සේනාංකයේ බි්‍රගේඩියර් අජන්ත විජේසූරිය යන මහත්වරුන් විසින් පැය විසිහතරකට ආසන්න කාලයක් නිරාහාරව සීතලේ ගැහෙමින් සිටි සෙබළුවන්ට ආහාර පාන ලබා දුන්හ.


මේ වන විට මියගිය කාන්තාවගේ සිරුර සොයා ගෙන තිබිණි. පැය විස්සකට ආසන්න කාලයක් කූඩැල්ලන්, සර්පයන් වැනි සතුන්ගෙන් ගහන මෙම වනය තුළ මළසිරුරක් ආරක්ෂා කර ගනිමින් සීතලෙන් මිදී කල්ගත කිරීමට සෙබළුන් ගෙන තිබූ උත්සාහය විස්තර කළේ මෙසේය.


'සිරුර සොයා ගත්තට ගේන්න බෑ. ඉදිරියේ පාරක් තබා තමන් ඉදිරියේ සිටින පුද්ගලයාවත් නොපෙනෙන තරමට ඝන මීදුම. ඒ අතර අඳුර පැතිරෙන්නටත් පටන් ගත්තා. ඉතා අමාරුවෙන් රැය පහන් කිරීමට ගිනිමැළයක් දල්වා ගත්තා. එහෙත් මළ සිරුර සතුන්ගෙන් හෝ වෙන යම් දෙයකින් හානි වේ යැයි සිතා හමුදා සෙබළුන් කිහිප දෙනකුගේ නිල ඇඳුමේ උඩ කොටස ඉරා මළ සිරුර ඔතා එම පටිවලින් බැඳ තැබුවා. ආහාර නොමැති වුවත් උඩු කය ඇඳුම් අහිමි වීම නිසා තද සීතල දරා ගන්නට ගිනිමැළය උදවු වුණා.


කෙසේ හෝ කැඩී පොඩි වී එහෙත් වෙන් වී නොතිබූ මෙම සිරුර ගෙන ඒමේ පහසුව සඳහා දිග ලීයක් තබා පටිවලින් බැඳ ගලින් ගලට පැන ලිස්සනසුලු මාර්ගය ඔස්සේ නන්පේරියල් වත්තේ ඉහළ කොටසට රැගෙන ආහ. මේ වන විට වේලාව රාත්‍රි 10.00ට ආසන්න වී තිබිණි. කෙසේ හෝ අඳුර දුරු කර ගැනීමට තිබූ විදුලි පන්දම් ප්‍රමාණවත් නොවුණු නිසා භූමිතෙල් පන්දම් කිහිපයක් දල්වා ගෙන ලෝකාන්තයේ පහළ කොටසේ නන්පේරියල් කඳු මුදුනේ සිට දැඩි බෑවුම් සහිත වංගු සහිත පටු මාර්ගය ඔස්සේ පෞද්ගලික මල් ශාලාවක වෑන් රථයකින් බළන්ගොඩ මූලික රෝහලට ගෙන එන විටත් 13දා අලුයම 1.30 පමණ වී තිබිණි. කෙසේ හෝ 13දා බෙලිහුල්ඔය හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ඩී. සෙනෙවිරත්න මහතා විසින් මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළද කල්වේලා මඳ වූ බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ පසු දින (14දා) පෙරවරුවේය.


ජර්මන් කාන්තාවගේ ලංකා ගමන බළන්ගොඩ රෝහලින් නිමා විය. එහෙත් ලෝකාන්තයේ අතීතයේ මෙවැනිම සිදුවීම් රාශියක් සිදු වී ඇත. ජර්මන් කාන්තාව සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම තත්ත්වයට පත්වූ බව මුලදී වාර්තා විය. එහෙත් මරණ පරීක්ෂණයේදී ඇගේ මිතුරිය වූ නිනන් රෙබයා කියා සිටියේ ඇයගේ ස්මාර්ට් ෆෝන් එක තමා අත තිබූ බවයි. ඇය සෙල්ෆි ගත්තේ නෑ. ලෝකාන්තයේ මතු පිටින් අඩියකට පමණ පහළින් තිබූ ගල් ඇන්දකට අඩිය තබා ලෝකාන්තයේ අසිරිය විඳින්නට වටපිට බලද්දී පහළට වැටුණු බව ඇය සඳහන් කළාය.
විදේශිකයන් බොහෝ විට කරුණු නොදත් නිසා ලෝකාන්තයෙන් පහළට වැටුණත් ඩෝෂන් පෙම් යුවළගේ ලෝකාන්තයේ පහළට පැන සිය දිවි නසා ගැනීම සිද්ධියේ සිට මේ වන විට ලාංකිකයන් පහළොවක් පමණ සිය දිවි නසා ගැනීම් හා අපරීක්ෂාකාරී හැසිරීමෙන් ලෝකාන්තයට දිවි පුදා ඇත.


වසර 2008දී මේරියන් අබ්දුල් කැරීම් නමැති 26 හැවිරිදි කාන්තාව ලෝකාන්තයෙන් වැටුණේ මීදුමෙන් වැසී තිබියදී සිය පියා සොයා ගැනීමට යෑමේදීය. 2011 වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටෝපර් ෆිල්ටර් සිය කැමරාවෙන් කටුස්සකුගේ ඡායාරූපයක් ගැනීමට යෑමේදී කන්දෙන් පහළට වැටී ඇත. වයස අවුරුදු 72ක් පමණ වූ කාන්තාවක් සිය දිවි නසා ගත්තේ වසර 2013දීය. ලෝකාන්තයෙන් වැටුණු දිවි බේරාගත් එකම තැනැත්තා වන්නේ නෙදර්ලන්ත ජාතික මාර්ටින් ලෝරන්ස් (31) නමැති තරුණයාය. ඔහු මෙරටට පැමිණියේ තම මනාලිය සමඟ මධුසමය ගත කිරීමටය. කන්දෙන් පහළට වැටුණු ඔහු ගසක අත්තක රැඳී සිටියදී යුද හමුදා සෙබළ සුදේශ් ලලින්ද විසින් කඹයකින් බැස මොහු බේරා ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට හමුදා සේනාංකයෙන් උසස් වීමක් ද ලැබුණේය. මෙම ජර්මන් කාන්තාවගේ මළසිරුර ගෙන ඒමට මෙම සෙබළාද සම්බන්ධ වීම විශේෂත්වයකි.


ආරම්භයේ පෙම්වතුන් යුවළක් ලෝකාන්තයෙන් පැන්න සිද්ධියෙන් පසු මෑතක් වන තුරුම මළසිරුරු ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. මෙවැනි මළසිරුරු ගෙන ඒමේ අත්දැකීම් ඇති, වනය තුළ ගමන් කළ යුතු මාර්ග ගැනද හොඳින් දන්නා නන්පේරියල් වත්තේ පදිංචි සම්මුගම් උදයකුමාර් නමැති අය සිය අත්දැකීම් විස්තර කෙළේ මෙසේය.


'පසුගිය කාලයේ සිදු වූ මරණ ගෙන ඒමට මා ඇතුළු මෙම වත්තේ දස දෙනකු පමණ සහභාගි වුණා. ඒ පොලිසියේ සහ මරණ පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම මතයි. එක් විදේශික මහත්මයකුගේ මළසිරුරක් පිටතට ගෙනැවිත් දීමට ඔහුගේ ඥාතීන් විසින් අපට රුපියල් ලක්ෂ එකහමාරක් දීමට පොරොන්දු වූවා. ඒ අනුව පැය 1ක් පමණ දැඩි වෙහෙසක් දරා මළසිරුර ගෙනැවිත් දුන්නා. ඔවුන් අපට රුපියල් ලක්ෂ දෙකක්ම ලබා දුන්නා. ඇතැම් දේශීය අයගේ මළසිරුරු ගෙනැවිත් දීමට ලොකු මුදලක් දීමට අදි මදි කරනවා. මෙම කටයුත්ත සඳහා අප ඉදිරිපත් වන්නේ ජීවිතය පරදුවට තබා. එවැනි අවස්ථාවලදී බිම ඇද වැටී තුවාල සිදු වූ අවස්ථාද නැතිවා නොවේ.'


දිනකට දේශීය සංචාරකයන් දෙදාහක් පමණ ලෝකාන්තය නැරැඹීමට පැමිණෙනවා. විදේශිකයන්ගේ පැමිණීම පන්සීයකට ආසන්න වෙනවා. ඔවුන්ගෙන් එක් අයකු වෙනුවෙන් රුපියල් පන්දාහක පමණ මුදලක් අය කරනවා. නමුත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනකු යොදන්නේ නම් යම් අනාරක්ෂිත කටයුත්තක් කිරීමට යෑමේදී ඔවුන් වළක්වාලීමට හැකි වෙනවා. විශේෂයෙන් මෙම නැරැඹුම් ස්ථානයේ යකඩ වැටක් සවි කිරීමට ඉහත දී යෝජනා වූවා. එම වැට මතට නැඟීම සිදු කරාවි යන සැකය නිසා එයද නතර වුණා. කෙසේ නමුත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වීමට මෙම අනතුරු සිදුවීම හේතුවක් විය හැකියි. ඒ නිසා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම වැදගත්ය.


හෝර්ටන්තැන්නට ආවේණික සතුන් අතර ගෝනා, දිවියා, කොළ දිවියා, හඳුන් දිවියා, වැලි මුවා, මී මින්නා, මහවඳුරා සහ කුරුලු වර්ග විස්සක් පමණ දැකිය හැකිය. මෙම ප්‍රදේශයට ආවේණික වූ අං කටුස්සා කාගේත් නෙත් සිත් ඇදී යන සත්ත්වයෙකි. මුහුදු මට්ටමේ සිට අඩි 7200ක් පමණ උසින් පිහිටි මෙම ස්ථානය නැරැඹීමට යන බොහෝ දෙනාගේ නෙතට අලංකාර දසුනක් වන්නේ බේකර්ස් ඇල්ලය. මෙම ප්‍රදේශයට ආවේණික මහ රත්මල් ගස් පරිසරයට ගෙනදෙන්නේ මහත් අලංකාරයකි. දේශගුණය සිසිල්ය. ගමන විඩාවෙන් තොරය. ආස්වාදජනකය. එහෙත් මින් මතු ලෝකාන්තය තුළින් ශෝකාන්තයක් දකින්නට අසන්නට නොලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

බළන්ගොඩ
පියසේන එන්. හේවගේ
ඡායාරූප - කල්තොට එස්. වීරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon