සත් වසරක් සෙත් කවියක්

  👤  2879 readers have read this article !
By mawbima 2018-11-18

1860දී ගාල්ල නගරයෙන් බිහි වූ 'ලංකාලෝකය' මෙරට බිහි වූ මුල්ම සිංහල පුවත්පත ලෙස පිළිගැනේ. දෙමළ බසින් බිහි වූ මුල්ම වාරික ප්‍රකාශනය 1841දී 'උදය තාරකායි' නමින් යාපනයේදී බිහි විය. ලංකාවේ නූතන මාධ්‍යකරණයට ඊට පෙර ඇරඹුමක් ලෙස සනිටුහන්ව ඇත්තේ 1832 ජනවාරියේදී ඇරැඹි 'කලම්බු ජර්නල්' (ඛ්ධතධථඡධ බ්ධභපදචත) ඉංග්‍රීසි සඟරාවයි. එය පළ වූයේ සති දෙකකට වරකි. එවක බි්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයේ මුද්‍රණාලයාධිපතිව සිටි ජෝර්ජ් ලී එහි කතුවරයා වූයේය. එවකට පැවැති රජය විවේචනය කිරීම නිසා 'කලම්බු ජර්නල්' සඟරාව රාජ්‍ය උදහසට ලක්විය. 1833 දෙසැම්බර් මාසයේදී එම සඟරාව මළගම් ගියේය. රජය සහ මාධ්‍ය නිදහස අතර මතවාද අරගලයට ඇත්තේ එතරම් පැරැණි ඉතිහාසයකි.


පත්තර ඉතිහාසය එසේ අෑතින් අෑතට දිව යද්දී ජාතික ලේඛනාධිකාරයේ නියාමනයට අනුව ලංකාණ්ඩුවේ ලියාපදිංචි කර ඇති ප්‍රථම සිංහල පුවත්පත ලෙස සැලකෙන්නේ 1862 සැප්තැම්බර් මස 11 වැනි දින නිකුත් වූ 'ලක්මිණි පහන' පත්‍රයයි. මුලින් පැවැසූ පරිදි 'ලංකාලෝකය' 1860 සැප්තැම්බර් මස 10 දින නිකුත්ව තිබුණද එය රජයේ ලියාපදිංචි කර තිබූ බවට සාධක නැත.


සියලු සුදුසුකම් සපුරා 1862දී නිකුත් වූ 'ලක්මිණි පහන' ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පතේ ඓතිහාසික ඇරඹුමෙන් වසර 149කට පසු 2011 නොවැම්බර් 18 දින 'මව්බිම' පුවත්පත ඇරැඹියේය. ඒ සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ ප්‍රකාශනයක් ලෙසිනි.


ලෝකයේ පළමුවෙන්ම බිහිවූයේ මොනවාද කියා සොයන්නට යෑම අතිශය ප්‍රශ්නකාරී විය හැකි සේම විටෙක එය ප්‍රණීතාංගයක්ද විය හැකිය. එහෙත් මානවයා බිහි වූ මොහොතේ පළමුවෙන්ම ඔවුන් තුළ හටගන්නට ඇත්තේ හැඟීම් බව අවිවාදිතය.


'මව්බිම' ආරම්භයේ පටන් ආමන්ත්‍රණය කළේ මේ මිනිස් හැඟීම්වලටය. ලෝකයේ සෑම දෙයක්ම සිදුවන්නේ කිසියම් රිද්මයකට අනුව යැයි මහගමසේකරයන් ප්‍රකාශ කෙළේය. සෑම දෙයකටම රිද්මයක් තිබේ. 'මව්බිමේ' මුල්ම කර්තව්‍ය වූයේ එකිනෙකට අනන්‍ය වූ ජන රිද්මය හඳුනා ගැනීමය. රිද්මය හඳුනාගැනීම තුළ ඇත්තේ රසයෙකි. මහා චමත්කාරයෙකි.
අපි ජන රිද්මයේ මායිම් මෙන්ම රසිකත්වයේ මායිම්ද හොඳින් හඳුනා ගත්තෙමු. එය 'මව්බිමේ' හරය වූයේය. පුළුල් විස්තීරණ සමාජයක හෘද සාක්ෂියේ හදගැස්ම මව්බිමේ දැක්ම වූයේය. ඒ නිසාම මව්බිම ඇරැඹුම ජනතාවාදී පුවත්පත් කලාවක විප්ලවීය ආරම්භයක් මෙන්ම හැරවුම් ලක්ෂ්‍යයක්ද වූයේය.


පුවත්පතක් වනාහි පොදු - ජන, බහු - ජන කලාවක් විය යුතු බව 'මව්බිම' තරයේම ඇදහුවේය. සම්මත පුවත්පත් කලාවේ සන්තතිය හකුළා දමා මනා සම්මිශ්‍රණයකින් යෝධ පිම්මක් ඉදිරියට යෑමට 'මව්බිම' ට ගතවූයේ කෙටි කාලයකි. එය සැබැවින්ම සාමූහික ව්‍යායාමයක්ම පමණක් නොව සාමූහික ගතිය නිසි පරිදිම සංයෝග වූ ස්වර්ණමය උත්තරීතර තලයකට පිවිසීමක් වූයේය. එසේ සුපුෂ්පිත වූ 'මව්බිම' පුවත්පත් කලාවේ සුවිශේෂීත්වය වූයේ සම්පූර්ණයෙන්ම පාඨකයා ග්‍රහණය කර ගැනීමය. පාඨකයා ග්‍රහණය කර ගැනීම සඳහා උචිතානුචිත සරල ශිල්ප ක්‍රම 'මව්බිම' තෝරා බේරා ගත්තේය. 'මව්බිම' තම සන්නිවේදන ශක්තිය සීමා කිරීමකට නොගොස් පොට වරද්දා නොගත්තේය.


හිතුවක්කාර භාෂා, දාර්ශනික ශෛලීන් බැහැර කොට මානසික සනීපය පලදායී ලෙස ජනතාව අතරට හෙයියම්මාරුවකින් තොරව ගෙන යෑමම 'මව්බිම'ට අනන්‍ය වූ දේහලක්ෂණයක් විය.


'මව්බිමේ' ලේඛනයන්ගේ වචන සාරවත් හා රසවත් විය. ඒ නිසාම පාඨකයාගේ හැඟීම් අතර කිමිඳුණු අපගේ මාධ්‍යවේදියෝ යහපතම හඳුනා ගෙන තමන් කැමැති ඉසව්කරා ගියෝය. මායාවකින්, විහිළුවකින් තොරව ඔවුහු සැබෑ ලෝකයේ ජීවත් වූහ. එම ලිපි අන්තර්ගතයන්හි නිවැරැදි දේශපාලනික ප්‍රවීණතාව මෙන්ම සාහිත්‍යමය ප්‍රවීණතාවද අන්තර්ගත වූයේය. එය හේමන්තය සිය බිලිඳු මල් කැකුළු තුරු ඉතිමත රඳවා අවරගිර තොටිල්ලේ නැළැවූ සේම විය.


දුහුවිල්ලකටත් වඩා නිහතමානීව 'මව්බිම' හැමවිටම සත්‍ය පිටුපස හඹා ගියේය. ලෝකයා තම දෙපාවලින් දුහුවිලි පාගති. එබැවින් සත්‍ය හඹා යන්නාද දූවිලි පරිදි පෑගීමකට ලක්වේ. එය දරා ගැනීමට තරම් නිහතමානීත්වයෙන් සහ දිරියකින් යුතුව අපි හැමවිටම කටයුතු කෙරුවෙමු. එම සත්‍යයේ දර්ශනය තුළින් බොහෝ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපට වඩා දීර්ඝ ඉතිහාසයකට උරුම කී පුවත්පත් පසු කර අලෙවි පරිමිතියේ දෙවැනි ස්ථානයට පත්වීමට මව්බිමට ගතවූයේ සුළු කාලයකි. 'ඉවසන්නාට තමන් කැමැති හැම දෙයක්ම ලද හැකි යැයි' තෝමස් ෆ්රෑන්ක්ලින් පවසා ඇත්තේය. 'මව්බිම' තමන් ලද විසල් වූ සියලු ජයග්‍රහණ ලැබුවේ ඉවසීමෙනි.


ජාතික ව්‍යසන, සොබාවික විපත්, සාමාජීය දුක්ඛ පීඩා දෝමනස්සයන් හැමෙකක් පිටුපසම පසුගිය හත් වසර තුළ 'මව්බිම' සක්‍රියව ජනතාවගේ පැත්තේ සිට ගත්තේය. ජනතාවගේ කඳුළේත්, සුසුමේත්, ආවේගයේත්, සීතල රිද්මය 'මව්බිම' නිරතුරු හඳුනා ගත්තේය. එනිසාම ජනතා ප්‍රසාදයේ මල්කලඹ හැමවිටම 'මව්බිම'ට පිරිනැමිනි. ගවේෂණාත්මක පුවත්පත් කලාවේ නවමංපෙත් ඉසව් සොයා 'මව්බිම' ගිය සංචාරයන් මෙරට පාඨක ජනතාව පිළිගත්තේ මහත් වූ භක්ත්‍යාදරයකිනි. ජාතියක් වශයෙන් අපගේ වාතය, පස සහ ජලය විනාශ කරමින් සිටින්නන් බොහෝය. 'මව්බිම' ගත වූ සත් වසර තුළ එවැනි ජාති භ්‍රෂ්ටයන් හඹා ගොස් ඔවුන් නිරුවත් කළේ දේශප්‍රගමනික මහා හැඟීමකිනි. මුහුණපෑමට සිදු වූ අභියෝග බොහෝය.
එනමුදු සත්‍යය හැමවිටම 'මව්බිම' සමඟ සුහද පිළිසඳර අත්හැරියේ නැත. ජනිත වූ ප්‍රඥාවෙන් යුක්ත වූවෝ 'මව්බිම' වටා යෝධ පවුරක් වූහ.


ජයග්‍රහණය ගැන ඉගෙනීමට නම් පරාජයක සේයාවක් හෝ ලැබිය යුතුය. 'මව්බිම'ට උදා වූ එවන් අන්තරාකාරී මොහොතක් අප ජය ගත්තේ අතළොස්සක පිරිසක් අභියෝගය දෙඋරෙන් දරා වඩාත් කාර්යබහුල ව්‍යුත්පත්ති මෙහෙවරක යෙදීමෙනි. අපි කිසිවකුගේ නාසයක් කුලියට නොගෙන ජයග්‍රහණයේ හුස්ම හදවතින්ම විඳ ගත්තෙමු. කුණාටුවලට බිය නොවී අපි කුඩා පිරිසක් කුණාටුව හරහා ගමන් ගත්තෙමු. ආත්ම පවිත්‍රතාවයෙන් ප්‍රතිවිරුද්ධ ආවේගයන් අභිභවා අපි නැඟී සිටියෙමු. 'මව්බිම' හරි හම්බ කරගත් වස්තුව වූ පාඨක ජනතාව ශේ‍ර්ෂ්ඨත්වයෙන් යුතුව අඛණ්ඩව 'මව්බිම' හා බැඳීසිටීම සත්‍ය ගවේෂණයට කළ ප්‍රතිආචාරයක්ම වූයේය.


'ජාතිවාදය මානව වර්ගයා දුබල කරන සරම්ප රෝගයකි' යනුවෙන් ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේය. මව්බිමේ කීර්තිමත් වූ සත්වසරක මාධ්‍ය කලාව තුළ ජාතිවාදී සරම්ප රෝගය බැහැරින් බැහැරම කළේය. පිරිපුන් වූ මානව හිතවාදී ගුණයෙන් නිරෝගීව වසන්නට අපට ඉතසිතින් මේ සත්වසර තුළ හැකි විය. ඉදිරියටත් අප පිළිවෙත එසේමය.
බිම් මට්ටමින් ඉතා සක්‍රිය හා සංවේදී වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී සංචිතයක් 'මව්බිම' වෙනුවෙන් දිවයිනේ නන්දෙස විසිර නිරතුරු අවදියෙන් සිටීම අපගේ සත් වසර ජයග්‍රහණයට බලපෑ සුවිශේෂී කරුණකි. ඔවුනගේ දායකත්වයට නිසි තක්සේරුවක් ලබාදී ඔවුන් රැක ගැනීම සුවිශේෂී අවශ්‍යතාවකි.


ආරම්භයේ සිට මේ දක්වා 'මව්බිමේ' රූ රටා මෙහෙයුම විප්ලවකාරි විය. ශීර්ෂ පාඨ නැවුම් වූ නිර්මාණශීලී හැඩතලයක් ගත්තේය. ලේඛනය විවිධාකාරී විය. පෙළ ගැස්ම ආකර්ෂණීය විය. සාම්ප්‍රදායික තෝරාගැනීම් වෙතින් සෑමවිටම වෙනස් වූ ආකෘතිමය ලක්ෂණයෙන් සහ පෝෂණයෙන් යුක්ත වූයේය. එනිසාම එම වෙනස පාඨක රසමනසට ගෝචර වූයේය.


ගතානුගතිකත්වය බැහැර කර 'මව්බිම' කළේ සමාජයට ආදරය කිරීමය. සමාජයද මේ සත් වසර මුළුල්ලේ 'මව්බිම'ට පෙරළා ආදරය කළේය. ජූලියස් සීසර් රෝම අධිරාජ්‍ය ගොඩනැඟුවේ එක දිනකින් සතියකින් නොවේ. එය අනවරත උත්සාහයක ප්‍රතිඵලයකි. ගෞරවය සහ අධිෂ්ඨානය ඇතිව කළ කැපවීමක ප්‍රතිඵලයකි. මහා මාධ්‍ය බිම්කඩ තුළ ක්‍රමයෙන් ගොඩනැඟූ 'මව්බිම' අධිරාජ්‍ය කැඩී බිඳී යා නොදී ඉදිරියටත් රැක ගැනීමට අසහනය නෙරපා හැරිය යුත්තේමය. අන්ධ ලෙස අනතුරු ළඟා නොකර ගත යුතුය.


මල් සුවඳ උඩු සුළඟට හමන්නේ නැත්තේමය. ආකර්ෂණීය වූ සත් වසරක ප්‍රඥාවන්ත මෙහෙවරක ගුණ සුවඳ මෙනෙහි කර ගනිමින් ක්‍ෂිතිජයේ ඇති වර්ණවත් මල් බැලීමට පෙර මිදුලේ ඇති රෝස මල් පෝෂණය කර සුවඳවත් කර ගනිමු. නොහිම් සුවඳ එවිට දසතම පැතිරෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon