පොලිස් බළ ඇණියක රැකවල් මැද කථානායක මැති සබයට

  👤  2811 readers have read this article !
By mawbima 2018-11-18

පාර්ලිමේන්තුවේ කථානායකවරයකු මැති සබයේ රැස්වීම ආරම්භ කිරීම සඳහා පොලිස් බළ ඇණියක ආරක්‍ෂාව මධ්‍යයේ සභා ගැබ තුළට පිවිසීමේ ඓතිහාසික සිද්ධියක් පෙරේදා (16දා) සිදුවිය.

සෙංකෝලය ඔසවාගෙන වේත්‍රධාරිවරයා සභා ගැබ තුළට පැමිණියේත් ආරක්‍ෂාව මධ්‍යයේය.


කථානායකවරයාට ආරක්‍ෂාව සැලසූ පොලිස් බළ ඇණිය ඉදිරියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු කථානායකවරයා සඳහා පුටුවක් ඔසවාගෙන එද්දී මන්ත්‍රිවරු දෙදෙනක් එම පුටුව උදුරාගෙන කඩා පසෙකට විසි කළහ.


අනතුරුව පාර්ලිමේන්තුවේ සේවා සහායකයන් සඳහා පනවා තිබෙන පුටුවක හිඳගෙන කථානායකවරයා සභාවේ කටයුතු සිදුකිරීමද විශේෂත්වයකි.
සෙංකෝලය තබන පීඨිකාවද කිසිවකු විසින් පෙරළා දමා තිබෙනු දක්නට ලැබිණි.


පොලිසිය සභා ගැබ තුළට පැමිණීමේදී කලබලයට පත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු පොලිසියේ පැමිණීම වැළැක්වීමට උත්සාහ කරද්දී කථානායක මේසය මත හා අවට තිබූ පොත් පත්වලින්, පුටු කවරවලින්, වතුර වීදුරු ආදියෙන් පහර එල්ල කිරීම නිසා විපක්‍ෂයේ මන්ත්‍රිවරුද එම ගාලගෝට්ටියට එක්වූහ.


මෙසේ දමා ගසන ලද පොත්පත් ඇතුළු වෙනත් දේ වැදීමෙන් මන්ත්‍රිවරු පිරිසකට සහ පොලිස් නිලධාරීන් පස්දෙනකුට තුවාල සිදුවී ඇත.


මේ අතර එල්ලවී ඇති මිරිස් කුඩු ප්‍රහාරයක් නිසා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, විජිත හේරත් ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසකගේ දෑස් වේදනාවට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.


කථානායකවරයාගේ ආසනයද එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් පසෙක තබා තිබෙනු දක්නට ලැබිණි.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අතර හටගත් ගාලගෝට්ටියෙන් පසු සභා ගැබ තුළ යුද්ධයක අවසානයේ දක්නට ලැබෙන ආකාරයට සුන්බුන් තැනින් තැන විසිර තිබෙන අයුරු දක්නට හැකි විය.


මෙම ගාලගෝට්ටිය පවතින අවස්ථාවේ කථානායක ගැලරියෙහි විදේශිකයන් පිරිසක් අසුන්ගෙන මේ සිද්ධිය නිරීක්‍ෂණය කරනු දක්නට ලැබුණු අතර මහජන ගැලරි සියල්ලද මහජනයාගෙන් පිරී පැවැතිණි.


මහජන ගැලරියේ සිටි පිරිස්ද කෑකෝ ගසමින් හූ කියමින් එක්සත් ජාතික පක්‍ෂයට ජයවේවා! රනිල්ට ජයවේවා! සජිත්ට ජයවේවා!, මෛත්‍රි භංගවේවා! සිරිසේන රට කෑවා ආදී සටන් පාඨ කියමින් ඝෝෂා කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon