පාර්ලිමේන්තුව යුද පිටියක් වුණු හැටි

  👤  2992 readers have read this article !
By mawbima 2018-11-18

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ කථානායක ආසනය ආක්‍රමණය කිරීම නිසා කරු ජයසූරිය කථානායකවරයා දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ මැති සබයට පැමිණ වේත්‍රධාරි කාර්යමණ්ඩලයට අනුයුක්ත කර සිටින පාර්ලිමේන්තු සේවා සහායකයන්ට අයත් අසුනක වාඩි වී සභාව පවත්වාගෙන යෑම නිසා පසුගිය සිකුරාදා (16දා) දිනයේ මැති සබය තුළ දැඩි ගැටුම්කාරී තත්ත්වයක් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.


15 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මැති සබය තුළ ගුටිබැට හුවමාරු වීම් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර 16 වැනි සිකුරාදා තත්ත්වය ඊට හපන් විය.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් 16 වැනි සිකුරාදා දහවල් 11.30ට කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි.


ඊට පෙර පෙරවරු 10.30ට පමණ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වී තිබුණු අතර එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1දීය.


මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට අගමැති සහ වත්මන් ආණ්ඩුව කථානායක විසින් මුලින්ම පිළිගත යුතු බවත් ඉන් අනතුරුව ස්ථාවර නියෝග යටතේ සභාවේ කටයුතු නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කථානායක ක්‍රියා කළ යුතු බවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.


මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම කමිටු ශාලා අංක 2දී රැස්වූයේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට අදාළ වගන්ති සංශෝධනය කරමින් අගමැතිට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට මෙහිදී තීරණය කෙරිණි.


ආණ්ඩු පක්ෂයෙන් ඊට බාධා එල්ල වුවහොත් කෙසේ හෝ ඊට මුහුණදෙමින් මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
කථානායක පක්ෂ නායක රැස්වීමේදී න්‍යාය පත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් නොමැතිවම එම සාකච්ඡාව අවසන් විය.


ඒ සමඟම ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් හා විපක්ෂයේ ජනතා නියෝජිතයන් අතර ආරංචිය පැතිර ගියේ බ්‍රහස්පතින්දා මැති සබයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සිකුරාදා දිනයේදීද අනිවාර්යයෙන්ම සිදුවීමට ඉඩ තිබෙන බවයි.


යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදිය යුතු ආකාරය ගැනද ඔවුහු එකිනෙකා කතිකා කර ගත්හ.


යළිත් දහවල් 1.00ට පමණ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වූයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට එකඟව කටයුතු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබෙන බවත් එය පිළිනොගෙන කථානායක කටයුතු කළහොත් ඊට දැඩි විරෝධය එල්ල කිරීමටත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරිණි.


එම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කතිකා කර ගත්තේ අද දිනද විශ්වාසභංග යෝජනාව නීති විරෝධී ලෙස ඉදිරිපත් කිරීමට යන නිසා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර මැති සබයට යා යුතු බවයි.


පාර්ලිමේන්තුව සිකුරාදා දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දහවල් 1.20ට පමණ සභා ගර්භයට පැමිණෙන අයුරු දක්නට ලැබිණි.


එම අවස්ථාවේ විපක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මැති සබය තුළ සිටියේ නැත.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සටන් පාඨ කියමින් මුලින්ම මූලාසනය වෙත ගොස් හිස්ව තිබූ කථානායක අසුන අසල සිට ගත්තේය. 'තෙවරප්පෙරුම අත්අඩංගුවට ගනු'
'ගොන් රංජා අත්අඩංගුවට ගනු' යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සටන් පාඨ කියවීම ආරම්භ කළේය.


'මැති සබයට පිහි ගෙනාපු මේ මැරයන් අත්අඩංගුවට ගනු' යනුවෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු කෑගැසුවේය.
ජොන්ස්ටන් අනුගමනය කරමින් ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු ඇතුළු 60කට අධික පිරිසක් මූලාසනය වටකර ගනිමින් විරෝධතාවයේ යෙදුණේ කථානායකට පැමිණීමට නොහැකි වන සේ එම ස්ථානයේ සෑම ඉඩක්ම අත්පත් කර ගනිමිනි.


පවිත්‍රා වන්නිආරච්චි කථානායක පුටුවේ අසුන් ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දුගේ නම යෝජනා කළේය.


තවත් මන්ත්‍රිවරයකු එය ස්ථිර කළේය.
මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වී තිබුණු අතර කථානායක ආසනයේ සිටි අරුන්දික ප්‍රනාන්දු ශබ්ද නඟා සභාව මෙහෙයවන ආකාරයෙන් යම් යම් කරුණු ඉදිරිපත් කරනු ලබන ආකාරයක්ද දක්නට ලැබිණි.


කෙහෙළිය රඹුක්වැල්ල අසුන්ගෙන සිටියේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ආසනයේය.
පවිත්‍රා වන්නිආරච්චි හඬනඟා සටන් පාඨ කවි ස්වරූපයෙන් ගායනා කළ අතර ඇය අනුගමනය කරමින් අනෙක් පිරිසද එය හඬ නඟා ගායනා කරන්නට වූහ.
මෙම සටන් පාඨ සමඟ මුළු සභාවම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.


මේ අතර තිලංග සුමතිපාල කථානායකවරයා මැති සබයට පිවිසෙන ප්‍රධාන ‍ෙදාරටුව අසල රැඳී සිටියේ සෙංකෝලය රැගෙන ආවොත් ඊට බාධා කිරීමටය.
තිලංග සුමතිපාලගේ සහායට තවත් මන්ත්‍රිවරු කිහිපදෙනෙක් ඒ අසල සිටියහ.


කරු ජයසූරිය කථානායකවරයාට එරෙහිව දැඩි විරෝධය එල්ල කරන සටන් පාඨද මෙහිදී ගායනා කළ අතර කථානායකට විරෝධය පළ කරමින් පුවරුද මන්ත්‍රිවරුන් අත්දෙකෙන්ම ඔසවාගෙන ප්‍රදර්ශනය කෙරිණි.


මැති සබයට පිහියක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද කෑගසමින් පැවැසුවේය.
'කරව්! කරව්! ඇරෙස්ට් කරව්!' යනුවෙන් වාසුදේව නානායක්කාර කෑගැසුවේය.


දහවල් 1.23ට පමණ පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව නාද වූ අතර විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැමිණ අසුන් ගත්හ.
නමුත් කථානායක අසුනේ සිටි අරුන්දික ප්‍රනාන්දු දිගටම සිටි අතර ඔහු වටකරගෙන අනෙකුත් පිරිස සිටියහ.


පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ලේකම්වරු තිදෙනාට ඔවුන්ගේ ආසනවල අසුන්ගැනීමට සැලැස්වුවද කථානායකට පැමිණීමට නොහැකි වන සේ ආණ්ඩු පක්‍ෂයේ ජනතා නියෝජිතයෝ මූලාසනය වටකරගෙනම සිටියහ.


මේ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ එක එක කථිකයන්ගේ නම් කතා කරමින් කථානායක ආසනයේ සිටි අරුන්දික ප්‍රනාන්දු ඔවුන්ට කතා කිරීමට අවස්ථාව ලබා දුන්නේය.
කථානායක ආසනයේ අසලට වී පවිත්‍රා, බන්දුල, විමල්, මහින්දානන්ද ඇතුළු පිරිසක් උස් හ¾ඩින් කතා කළහ.


මේ සමඟ විපක්‍ෂයේ ජනතා නියෝජිතයන්ගෙන් එල්ල වූයේ හොඳ 'හූ' සංග්‍රහයකි. ඒ වගේම දැඩි විරෝධයක්ද එල්ල විය. කෑගසමින් කෙතරම් විරෝධය එල්ල කළද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාම තම තමන්ගේ ආසනවලම අසුන්ගෙන මෙම විරෝධය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.


ඇතැම් දෙනා ආසනවලින් නැඟිටීමට උත්සාහ කළද එය වැළැක්වීමට මලික් සමරවික්‍රම, රවි කරුණානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයා ගමගේ, වජිර අබේවර්ධන ඇතුළු කිහිපදෙනෙක්ම කටයුතු කළහ.


කථානායක ආසනයේ සිටි අරුන්දික ප්‍රනාන්දු විපක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ලට, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට දෙමළ ජාතික සන්ධානයේ වී. සිද්ධාර්ථන්ටද කතා කිරීම සඳහා ආරාධනා කළද ඔවුහු කිසිවෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූහ.


මේ සමඟම දහවල් 2.20ට පමණ මැති සබයේ විපක්ෂයේ ‍ෙදාරටුවකින් පොලිස් බළඇණියක් පෙරටු කොටගෙන කරු ජයසූරිය කථානායකවරයා පැමිණෙන්නට විය.
පොලිස් නිලධාරීන් 100ක් පමණ එකට එක සිටගෙන කවාකාරව කථානායකට දැඩි ආරක්ෂාවක් ලබා දෙමින් පැමිණෙන විට මූලාසනය වට කරගෙන සිටි ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ට යකා නැග්ගේය.


පොලිස් නිලධාරීන් කථානායකට අසුන් ගැනීම සඳහා පුටුවක්ද පෙරටු කොටගෙන පැමිණි අතර ඉදිරියට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත එම පුටුව උදුරා ගත්හ.
නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව රැස් නොකරන ලෙස ඉල්ලා කෑගසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු පුටුව රැගෙන කථානායක දෙසට ප්‍රහාරයක් එල්ල කළද එය වැටුණේ පොලිස් නිලධාරීන් දෙසටය.


ඉන් පසුව ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් මූලාසනය අසල තිබූ පොත්, ලිපිගොනු කවරවලින් දිගට හරහට ප්‍රහාර එල්ල කළ අතර ඒවා වැදුණේ පොලිස් නිලධාරීන්ටය.
විශාල පිටු සංඛ්‍යාවකින් සමන්විත මෙම පොත් විශාල බරකින් යුත් අතර එම පොත් ගුවනේ පාවෙමින් කථානායක වටා සිටි පොලිස් නිලධාරීන් මතට සහ විපක්ෂයේ ජනතා නියෝජිතයන් දෙසට පතිත වන්නට විය.


විපක්ෂය දෙසින්ද පොත් කිහිපයක් මුලසුන අසල සිටි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් වෙත එල්ල විය.
මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, විජිත හේරත්, ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රංජිත් ද සොයිසා ඇතුළු පිරිසකට මෙම හුවමාරුවෙන් තුවාල සිදුවී තිබිණි.


ඉතා සූක්ෂ්ම ලෙස මැති සබයට ගෙනැවිත් තිබූ මිරිස් කුඩු මිශ්‍ර කළ ජලයද ඇතැම් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ප්‍රහාර සඳහා යොදාගෙන තිබිණි.
කථානායකගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂාව සැපයීම සඳහා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100 දෙනකු පමණ අත් එකිනෙක බැඳගනිමින් කථානායක වටකර පැමිණීම විශේෂයකි.


කෙසේ හෝ මැති සබයට යා යුතු බව කථානායක ප්‍රකාශ කරන විට ඊට අවශ්‍ය ආරක්ෂක සැලැස්ම දියත් කළේ පාර්ලිමේන්තුවේ පොලිසියේ අධ්‍යක්ෂ සරත් කුමාර විසිනි.
ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ ප්‍රහාර හේතුවෙන් පොලිස් නිලධාරීන් 7-8 දෙනකුටද තුවාල සිදුවී තිබිණි.


පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ කථානායක සේවා සහායකවරයකුගේ ආසනයේ අසුන්ගෙන බෆල්වලට සම්බන්ධ කර තිබූ මයික්‍රෆෝනයකින් සභාව ඇමතීය.
පාර්ලිමේතුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් යෝජනා කළ අතර එය ස්ථිර කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා විසිනි.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සංශෝධනය කරන ලද විශ්වාසභංග යෝජනාව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කරන ලද අතර එය ස්ථිර කළේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසිනි.


ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එම විශ්වාසභංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට කථානායක තීරණය කළේය.
විපක්ෂයේ ජනතා නියෝජිතයෝ අත් ඔසවා එම විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළහ. එය සම්මත වූ බව කථානායක ප්‍රකාශ කර සභා ගර්භයෙන් පිටව යන විට විපක්ෂයේ නියෝජිතයන් අත්පොළොසන් ලබාදුන් අතර ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයන් ඊට දැඩි විරෝධය එල්ල කළේය.


මේ අතරතුර මංගල සමරවීර හා ඩිලාන් පෙරේරා අමු තිත්ත අසභ්‍ය වචනවලින් බැනගත් අතර පියංකර ජයරත්න මන්ත්‍රිවරයා මංගලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළේය.
මේ අතර සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ බෑගයේ තිබී උල් ආයුධයක් පාර්ලිමේන්තු පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එම උල් ආයුධය කතුරකි. එය කුමක් සඳහා පාර්ලිමේන්තුවට ගෙනාවේද කියා තවම හෙළිවී නැත.


මේ අතර බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරු වුණේය.


ගුටිබැට හුවමාරුවීම්, ගහගැනීමට අභියෝග කිරීම්, ලේ සෙලවීම්, පොර බැදීම්, තල්ලු කිරීම්, පිහිවලින් ඇනීම්, බිම ඇද වැටීම්, වතුර බෝතල්වලින් ගැසීම්, කුණුබාල්දිවලින් ගැසීම්, ලිපිගොනුවලින් ගැසීම්, අසභ්‍ය වචනවලින් බැන ගැනීම්, රණ්ඩු කිරීම්, සටන් පාඨ කියවීම් ඇතුළු එකී මෙකී සියලුම සිද්ධිවලින් පාර්ලිමේන්තුවේ මැතිසබයම එකම යුද පිටියක ස්වරූපයක් ගත්තේය.


යුද පිටියක ස්වරූපයෙන් බ්‍රහස්පතින්දා මැතිසබය මෙසේ උණුසුම් වූයේ වසර ගණනාවකට පසුවීම විශේෂත්වයකි.
පාලිත තෙවරප්පෙරුම, ප්‍රසන්න රණවීරට කුරුමානම් අල්ලන ආකාරයක් දක්නට ලැබුණු අතර තෙවරප්පෙරුම අතේ පිහියක්ද දක්නට ලැබිණි.
මෙය දුටු ජොන්ස්ටන් ප්‍රනාන්දු තෙවරප්පෙරුමගෙන් පිහිය උදුරා ගැනීමට උත්සාහ කළේය.


දෙදෙනා අතර පොර බැදීමක්ද සිදුවූ අතර එය ගුටිබැට හුවමාරුවක් දක්වාම දුරදිග ගියේය.
ගුටිබැට හුවමාරුවේදී තෙවරප්පෙරුමගේ පිහිය බිම වැටුණේය. කිසිවකු විසින් එම පිහිය ඉන් පසුව සඟවා තිබිණි.
මොහාන් ප්‍රියදර්ශන සිල්වා සහ නිරෝෂන් ප්‍රේමරත්න එම ගැටුම වළක්වාලීමට දැඩි උත්සාහයක් ගත්හ.
ඉන් අනතුරුව පැටලුණු යුවළ වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර සහ එක්සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දුය.


හරීන් ප්‍රනාන්දු කංචන විජේසේකරට පහරදීමට ඉදිරියට පැමිණෙනවාත් සමඟම අත්දිග කමිසයේ අත්දෙක නවා ගනිමින් කංචන ඊට සූදානම් වූවේය.
හරීන් පහර දෙන විටම පහත්වූ කංචන හරීන්ගේ යටිබට ප්‍රදේශයට යම් තෙරපුමක් සිදුකළේය. මේ සමඟම තවත් කිහිප දෙනකු සමඟම හරීන් ප්‍රනාන්දු බිම ඇදගෙන වැටුණේය. මූලාසනය තිබෙන මට්ටමේ සිට මැති සබය මැද දක්වා පඩිපේළි 8කින් හරීන් සමඟ එක පොදියට ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් කිහිප දෙනෙක්ම ඇද වැටුණහ. සමහරුන්ගේ සරොම්ද නිසියාකාරව තිබුණේ නැත.


මේ අතර නවීන් දිසානායක හා ආණ්ඩුවේ කිහිප දෙනකු අතර දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවූ අතර එය ගැටුමකට නොගොස් බේරුණේ යාන්තමිනි. නමුත් තල්ලු කිරීම් හා තෙරපීම් නම් ජයටම සිදුවිය.


මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලිප් වෙදආරච්චි අතරද තල්ලු කිරීම් තෙරපීම් සිදුවූහ.
මේ අතර මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපිට ආරක්‍ෂකයකු සේ ලොහාන් රත්වත්තේ සිටින ආකාරයක් දක්නට ලැබිණි.
ලොහාන් තරමක් අෑතට ගිය අවස්ථාවක පාඨලී චම්පික රණවක මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා අසලට කිට්ටු වී යමක් ප්‍රකාශ කළේය.
මෙය දුටු ලොහාන් රත්වත්තේ වහාම පැමිණ චම්පික තල්ලු කරමින් ප්‍රහාරයක්ද එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.
එම සිදුවීමෙන් චම්පික රණවක ඇදවැටීමට ගොස් වැළකුණේ අනුර යාපාගේ ශරීරයේ හැපුණු නිසාය.
මෙය දුටු මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා පාඨලී චම්පික තමා ළඟට කැඳවා අතට අතදී සුහදතාව පළ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon