ජනපති මැදිහත්වී කඩිනමින් තීරණයක් ගත යුතුයි

  👤  2819 readers have read this article !
By mawbima 2018-11-18

මහනුවර - නදීක දයා බණ්ඩාර

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව රැස්කොට කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සඳහන් කරති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ තවදුරටත් මෙසේ ද සඳහන් කරති.


"පසුගියදා නව අගමැතිවරයකු පත් කිරීමත්, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමත් පිළිබඳව පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේ පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම රට වැසියන් හා දෙස් විදෙස් පාර්ශ්වද මේ වන විට රට පත්ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳව විවිධ මත දරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

ටේ ආර්ථිකමය, සමාජමය, දේශපාලනමය මෙන්ම ආගමික වශයෙන් මෙලෙස දිනෙන් දින පිරිහීම තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව පැහැදිලි සත්‍යයකි. මේ වන විට රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තු ආදී සියලු තැන්හි කටයුතු මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදයන්ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.


එවන් පසුබිමක රටේ පළමු පුරවැසියා වශයෙන් ඔබතුමාට දේශපාලනික වශයෙන් ඇති සුජාතභාවය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස පවත්වා ගෙන යා යුතුව ඇති බව අපගේ හැඟීමයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථීර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම තුළින් මේ රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කොට ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත කරමින් ස්ථීරසාර රටක් ඇති කිරීමට නිසි පියවර ගතයුතු මොහොතකම රට පත්ව ඇති බවද පෙනීයයි.


එහෙයින් පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පාර්ලිමේන්තුව රැස්කොට මේ පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව අපගේ හැඟීමයි. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත්, දේශපාලනික, සදාචාරාත්මක භාවයත් ආරක්ෂා කරගනිමින් සුදුසු නිසි පියවරක් ගැනීමට හැකිවේ යැයි අපි විශ්වාස කරමු. ඒ තුළින් රටේ සියලු අංශයන්ගේ බිඳවැටීම නවතාලිය හැකිවා සේම පොදු මහජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කරගත හැකි බව කරුණාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපතිවරයා වෙත යවන ලද සිය ලිපියේ සඳහන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon