රටේ අනාගතය තීරණය කරන්න මේ පණුවන්ට බෑ ලංකාව මිලිටරි පාලනයකට යෑමෙන් වළක්වා ගන්න ඕනෑ

  👤  2506 readers have read this article !
By mawbima 2018-11-19

වර්තමානයේ තිබෙන්නේ මරණයෙන් පසුව කුණු වෙමින් පවතින පාර්ලිමේන්තුවක්. එහි පණුවන් ගණන් කර අපේ රටේ අනාගතය තීරණය කළ යුතු නැහැ.

කුණු වූ පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ හැකියාව ඇත්තේ රටේ ජනතාවටයි. එනිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතුයි.

රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීමට හදන්නේ, ෆෙඩරල් රාජ්‍යයක් සඳහා ජනවරමක් ලැබුණු දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟද යන්න ප්‍රශ්නයක්.
රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කිරීම මේ රටේ සිදුවුණු හොඳ දෙයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැති ආණ්ඩුවෙන් ඉවත් වුණා නම් ඒ ආණ්ඩුවට එතැනින් පස්සේ ආණ්ඩු කරන්න කිසිම සදාචාරාත්මක පදනමක් නැහැ. ඔවුන් ඉල්ලා අස්වීමයි කළ යුත්තේ.

අපි කනගාටු වෙනවා අපේ රටේ පාර්ලිමේන්තුව පත් වෙලා තිබෙන තත්ත්වය ගැන. මේ අර්බුදය නිසා ජනතාවට දැනගන්න ලැබුණා මේ රටේ කථානායකවරයා සහ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මේ පිරිස් කොහොමද පසුගිය කාලේ අණපනත් සම්මත කළේ කියලා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය සම්මත කරගන්න කොට අදටත් හැන්සාඩ් වාර්තාවේ නැහැ පක්ෂව ඡන්ද කීයද විපක්ෂව ඡන්ද කීයද කියලා. මේ විදියටම කෑ ගහලා තමයි සම්මත කළේ. මන්ත්‍රිවරුන්ට කතා කරන්න දෙන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණටවත් තමන්ගේ සංශෝධන ගේන්න දෙන්නේ නැතිව ආණ්ඩුවේ සංශෝධනවත් නැතිව මංගල සමරවීර බාගයක් කියවලා ඉවර වෙන කොට කථානායක සම්මත කළා. ඒක තමයි දැනුත් සිද්ධ වන්නේ.

දැන් ලෝකයේ බලවත් රටවල තානාපතිවරුන් අපේ උසාවිවලට ඇවිල්ලා බලාගෙන ඉන්නවා විනිශ්චයකාරවරුන් දෙන තීන්දු මොනවද කියලා. ඔවුන් පාර්ලිමේන්තුවටත් යනවා.
මේ තානාපති කාර්යාවල අය මේවාට මැදිහත් වීම බලහත්කාරී ක්‍රියාවලියක්.

මොන තරම් දුෂ්කරතාවලට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වුණත්, මොන තරම් අභියෝගවලට දේශපාලන පක්ෂවලට මුහුණ දෙන්න වුණත්, අපි හිතනවා මේ ක්‍රියාදාමය හෙළිදරව් වීම රටට හොඳයි කියලා. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත මේ රටේ ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන තැනට පරිවර්තනය කරගත යුතුයි.

පසුගියදා හඬ අනුව සම්මත කරපු පළමු විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන වගන්ති දෙකක් තියෙනවා. ටී.එන්.ඒ. එක, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවිවරු හැටියට දෙවැනි දවසේ ලැජ්ජාවක් නැතිව පාර්ලිමේන්තුවට ඇවිල්ලා සියලු ඝෝෂා මැද, කථානායක ඇහුවා පළමු වගන්තිය අයින් කරන්න එකඟද කියලා. මේ ඔක්කොම කිව්වා එකඟයි කියලා. ඒ වගන්තිය ඉවත් කරපු එකෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීම පිළිගත්තා කියලා. මහින්ද රාජපක්ෂව පත් කරපු එක පිළිඅරගත්තා ඒකෙන්. දැන් රනිල් වික්‍රමසිංහ ගෙදර යා යුතුයි.

අගමැති කෙනකුට විරුද්ධව යෝජනාවක් ගේන කොට 113ක් නැහැ කියලා යෝජනාවක් ගේන සිරිතක් නැහැ. රජයේ හෝ අගමැතිවරයාගේ වරදක් නිසා තමයි යෝජනාවක් ගේන්න ඕනි. දැන් වරද කරගෙන තියෙන්නේ 113.
පාර්ලිමේන්තුවේ ගහ ගන්න ඒවා අශෝබනයි තමයි. නමුත් ඊට වඩා මේක අශෝබන නැද්ද කියලා අපි අහනවා.

පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ හැකියාව තියෙන්නේ මේ රටේ ජනතාවට විතරයි. කුණු වුණු පාර්ලිමේන්තුව විසුරුවීම කළ යුතුයි. ජනාධිපතිගේ ගැසට් නිවේදනය නීති විරෝධී බව අපි පිළිගන්නේ නැහැ. අපි කියනවා 225 දෙනාම මේකේ කොටස්කාරයෝ වෙලා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවට දෙන්න මේ අර්බුදය විසඳලා නව ආණ්ඩුවක් පත් කරන්න. ඒක තමයි මේකට තියෙන හොඳම විසඳුම.

මේ අවස්ථාවේ අපේ දේශපාලනඥයන් බුද්ධිමත්ව හා ඉවසීමෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ඇත්තේ බලවත් කනගාටුවක්.

2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා දෙමළ ජනතාවගේද විශාල සහයෝගයක් ඇතිව විශිෂ්ට ජයක් ලබා ජනාධිපති වුණා. ඉන්පසුව වසර හතරකට ආසන්න කාලයක් දෙමළ ජනතාවට පැණි වෑහෙන ටොෆි වැනි පොරොන්දු ලබා දෙමින්, දෙමළ නායකයන්ද රවටා ඔවුන්ගේ සහාය ලබා ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන ගියා. එම කාලයේදී දෙමළ ජනතාවට කිසිදු සාධාරණයක් හෝ යහපතක් සිදුව නැති බව අප හැමෝම දන්නවා.

අපගේ පාරම්පරික ඉඩම්, වටිනා ගොවිතැන් ඉඩම් තවමත් ඔවුන්ගේ ගෝලයන්ගේ හා හමුදාව දීර්ඝ කාලයක් තිස්සේ අත්පත් කොටගෙන සිටිනවා. බොහෝ කාලයක් සිංහල ජනතාවට අයත්ව තිබූ එම ඉඩම් දෙමළ ජනතාවට නැවත ලබාදීමට කටයුතු කරන්නේය යන ව්‍යාජ මතයක් ඇති කරමින් තිබෙනවා. අක්කර 60000ක් පමණ වන අපගේ භූමියක් හමුදාව සතුව පැවතුණා. එයින් තව සුළු ප්‍රමාණයක් හමුදාව සතුව පවතින බව ආණ්ඩුව පවසනවා. ඔවුන් ඒ ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ ඉඩම් පිළිබඳවයි. නමුත් අක්කර 60000කටත් වැඩි අපගේ ජනතාව භුක්ති විඳිය යුතු ඉඩම් හමුදාව යටතේ තිබෙනවා.

දෙමළ ජනතාවගේ පැත්තෙන් බැලීමේදී මහින්ද වුවත් මෛත්‍රි වුවත් රනිල් වුවත් ඔවුන් කටයුතු කරන්නේ සිංහල බෞද්ධ මානසිකත්වයෙන් පමණක් බව දැකිය හැකියි. ඔවුන් අතර ආණ්ඩු වෙනස්වීම්, ධුර වෙනස්වීම්, බලය මාරුවීම් සිදු වුණත් දෙමළ ජනතාවට එරෙහි විරෝධයන් මොවුන් අතර යම්තාක්දුරට හෝ පවතින බව අප දකිනවා. ඇතැමුන් ඍජුව අපට විරුද්ධව කටයුතු කරන අතර ඇතැමුන් සැඟව අපට විරුද්ධව කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් අපගේ නායකයන් ඉතා විචාරවත් ලෙස හා බුද්ධිමත්ව අපගේ අරමුණ හා අභිලාශ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කාලයක් අපි එලෙස කටයුතු කර නැති බව දැකිය හැකියි.

මේ අවස්ථාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් වත්මන් ආණ්ඩු සමඟත්, සිංහල නායකයන් සමඟත්, සිංහල ජනතාව සමඟත් අපේ නායකයන් කතිකාවත් පැවැත්විය යුතුයි. එසේම ජාත්‍යන්තරයේ අවධානය මේ වෙත යොමු කළ යුතු අතර අපගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමටත් ඒ සඳහා වන අවශ්‍ය පියවර ගැනීමටත් අප කටයුතු කළ යුතුයි. දේශපාලනය වශයෙන් අපට අත්ව ඇති දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳ ඔවුන්ට අවබෝධ කර දිය යුතුයි.

ලංකාවේ පාර්ලිමේන්තුවට තර්ජන එල්ල වන්නේ කාගෙන්ද යන්න අද ජාත්‍යන්තරයට පවා ඔප්පුවී තිබෙනවා. ඔවුන්ගේ ගෝලබාලයන් සුළුතරයට තමන්ගේ බලය පෙන්වමින් සලකන්නේ කෙසේද යන්න පේනවා. අපි ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලනු ලබන්නේ මන්ද යන්න ජාත්‍යන්තර ප්‍රජාව වටහා ගත යුතුයි. ඒ ශ්‍රී ලංකා ආණ්ඩු විසින් දෙමළ ජනතාවට කිසිවක් ලබා දෙන්නේ නැති නිසයි. මේ නිසා මෙරට ජාතික ගැටලුව විසඳීමේ වගකීම ඇත්තේ ජාත්‍යන්තරයටයි.

මීළඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවේ කවර ආණ්ඩුවක් තිබුණද සිදුවූ බව කියන යුද අපරාධ විමර්ශනය වෙනුවෙන් යෝජනාවක් ගෙන ආ යුතුයි. පවතින ව්‍යවස්ථා අර්බුදය හේතුකොට ගනිමින් එම යෝජනාව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලංකාවට වැඩි කාලයක් නොදිය යුතුයි. එසේම ලංකාව මිලිටරි පාලනයකට යෑමෙන් වළක්වා ගැනීමට අදාළ පියවර ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගත යුතුව තිබෙනවා.

සාකච්ඡාකර ලීවේ ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon