බලහත්කාරකම්වලට බයේ ආණ්ඩුව දාලා අපි දුවන්නේ නෑ

  👤  2404 readers have read this article !
By mawbima 2018-11-19

පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යනුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කළහොත් තනතුර අත්හැර යෑමට සූදානම් බවද අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසුවේ අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද කසාගල පුරාණ විහාරයේ විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගියදා (16දා) සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රිවරු සභා ගැබේදී තමන්ගේ විරෝධය පළ කළා. එහෙත් මේ පිහි අරන් ආව මන්ත්‍රිවරුන්ට පියවරක් ගත යුතුයි. එහෙත් කථානායක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රිවරු නැඟීසිටියේ ඊට විරුද්ධවයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු දෙසිය විසිපහකට මේ ප්‍රශ්නය විසඳන්න බැරි නම් මේ ඉන්න ජනතාවට බලය දෙන්න ඕන. ඡන්ද දායකයාට බලය දුන්නම කාටවත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඡන්දයක් පැවැත්වීම තුළින් කාගෙදෝ මූලික අයිතිවාසිකම් නැතිවෙනවා කියනවා. මෙවැනි කතා ඉතාමත් කනගාටුදායකයි. එහෙත් අපි ආණ්ඩුව ගෙනියනවා. මේවා දාලා දුවන්නේ නැහැ.

නීත්‍යනුකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තොත් එදාට අපි මේක දීලා යන්න සූදානම්. එහෙත් බලහත්කාරයෙන්, මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට ආවොත් මේක ලේසි වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට විතරයි මේක එහාට මෙහාට කරන්න පුළුවන්. අපි මේවා දාලා යනවා. එළිවෙනකල් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල වෙන කෙනකුට ගන්න බැහැ. අධිකරණයට වුණත් ඒ බලය උදුරාගන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාට ගෞරව වෙන විදියට ඒ ආයතන තුන වැඩ කරන්න ඕනෑ.

පසුගිය කාලයේදී භික්ෂුන් වහන්සේලාට නොසලකා හැරලා බුදු දහමට සලකන්නේ නැතිව ව්‍යවස්ථා වෙනසක් ඇති කරන්න කටයුතු කරමින් හිටියා. ඒ ව්‍යවස්ථාවේ සුද්දාගේ කාලයේ ඉඳලා අපිට තිබුණු අයිතිය, රජකාලේ ඉඳලා තිබුණු අයිතිය, සුද්දා පිළිගන්න අයිතිය මේ කළු සුද්දන් ඉවත් කරන්න තැත් කරන යුගයක තමයි මම අගමැතිකමට පත් වුණේ. මට ආරාධනා කළාම මම දෙපාරක් හිතුවා. අපි තනතුරු පස්සේ යනවද එහෙමත් නැත්නම් ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් පියාගෙන ඉන්නවද එහෙම නැත්නම් තනතුර භාරගෙන රට වෙනුවෙන් යුතුකම ඉටු කරනවාද ප්‍රශ්නය මට ආවා.

මේ රටට සංවර්ධනයක් අපි ඇති කළා. රට සංවර්ධනය වුණොත් තමයි ජනතාවට සංවර්ධනය ඇති වෙන්නේ. අපි එහෙම හදපු දේවල් රනිල්ගේ ආණ්ඩුව විකුණන්න පටන් ගත්තා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල ගුවන්තොටුපළ විකුණන්න ලෑස්ති කරලා තිබුණා. මේ රටේ භූමියත් කෑලි කඩලා විකුණන්න දාලා තිබුණා.

මේ භූමිය විදේශිකයන්ට විකුණන්න කාටවත් අයිතියක් නැහැ. ජනතාවගේ ඡන්ද බලයෙන් ඇවිත් ජනතාවගේ භූමිය විකුණන්න හදනවා නම් ඒකට ඉඩ තියන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසයි ජනාධිපති එක්ක අපි එකතු වෙලා මේ සටන ආරම්භ කළේ.

පෙරේදා පාර්ලිමේන්තුවේදී සිද්ධියක් ඇති වුණා. විශ්වාසභංගයක් ගෙනාවා කිව්වා. ශබ්දයට දුන්නා කිව්වා. ඊට පහුවෙනිදා කථානායක ඇවිත් කියනවා ජනාධිපතිවරයා පත්කළ අගමැතිවරයාව මම පිළිගන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේ අගමැති පුටුවත් මට දීලා ඉවරයි එතකොට. 'මන්ත්‍රි' කියලයි මට කතා කරන්න දුන්නේ. බලන්න කුහකකම.

කථානායකට කිසිම බලයක් ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. බටහිර මිත්‍රයන් එක්ක ඔවුන්ගේ උපදෙස් අනුව එ.ජා.ප.යේ උපදෙස් අනුව ක්‍රියා කරනවා. ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕන කථානායක. අපි කථානායකවරු දැකලා තියෙනවා. චමල් රාජපක්‍ෂ මහත්තයත් හිටියා. ඓතිහාසික තීන්දු දුන්නා. ඒ පුටුවේ ගෞරවය රැක්කා.

පාර්ලිමේන්තුවේ පිහි අරගත්තු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා පිළිබඳව නීත්‍යනුකූලව කටයුතු කරන්න. මේ පිහියෙන් කැපුවා නම් මේ කී දෙනෙක් මැරෙන්න තිබුණද?. මේක ගිහින් පැමිණිලි කළාම පිහි අරගෙන ඇවිත් ඉන්නවා කියලා පිහි නෙවෙයි මේ කාලයේ කඩුත් අරන් එන්න පුළුවන් කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් මැරෙයි කිව්වම ඔව් එහෙම වෙන්න පුළුවන් කිව්වා. කථානායකවරයෙක්, වයෝවෘද්ධ නායකයෙක්, බෞද්ධ නායකයෙක්. රාමඤ්ඤ මහ නිකායේ ගිහි සභාපති. දායක සභාවේ ප්‍රධානියා. මේ තනතුරට අගෞරව වන විදියට හැසිරීම හා ප්‍රකාශ කිරීම ඉතාම කැතයි.

මේ අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ පැවැසුවේය.

නව අග්‍රාමත්‍යවරයා විදියට මේ රට බේරගත්ත, මේ රටේ වැඩිම ජනතා ප්‍රසාදය හිමි වුණු නායකයා විදියට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දිවුරුම් දෙනවා. ඒ දිවුරුම් දීම සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට එකඟයි. සම්පූර්ණයෙන් රටේ නීතියට එකඟයි.

පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව ගැටලුවක් තිබුණා. ජනාධිපතිවරයාට පැවරිලා තිබුණු බලතල අනුවයි පාර්ලිමේන්තුව කල් තිබ්බේ. ඒ කල් තිබ්බම නැවත ජනාධිපතිවරයා කථානායකවරයා එක්ක කළ සාකච්ඡාවට පක්‍ෂනායක සාකච්ඡාවට මම පළමු වතාවට ගියා. එහිදී එතුමා අග්‍රාමාත්‍ය ධුරය පිළිගත්තා. ආසන පනවන්න කාර්යාලය දෙන්න, ඒ කටයුතු කරන්න එකඟ වුණා. නමුත් දවස් හතරක් යද්දි එතුමා සම්පූර්ණයෙන් වෙනස් වුණා.

තංගල්ල - සහම්පති මානගේ


හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon