මිලියන 500ක් ලිට්රෝ ගෑස් සමාගමේ ආයෝජනය කළේ නීත්‍යනුකූල ක්‍රමවේදයටයි

  👤  2354 readers have read this article !
By mawbima 2018-11-19

කේ.එස්.උදයකුමාර්

ගාමිණි සෙනරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එම සමාගම රුපියල් බිලියන ගණනින් ලාභ ලබා තිබූ බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇති බවත් මෙම නඩුවට පාදක වී තිබෙන ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ මත සිදුවී ඇති බවත් සාක්‍ෂිකරුවකු කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙන්ම ලිට්රෝ ගෑස් සමාගමේද අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ නයන දෙහිගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනුණි.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන යන මහත්වරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාර නයන දෙහිගම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කළ තමා පසුව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයටද පත් කෙරුණු බව කියා සිටියේය. මෙම නඩුවට පාදක වී තිබෙන ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවට අස්සන් තැබීම තමා විසින් සිදු කළ බවත් එය හොඳින් කියවා බලා තේරුම් ගෙන එම අස්සන් තැබීම සිදු කළ බවද සාක්‍ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුවට පාදක වී තිබෙන ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගම වෙත ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූල ක්‍රමවේදයට අනුව නිසි ආකාරයට සිදුවී ඇති බවද සාක්‍ෂිකරු විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් යම් ආයෝජනයක් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ මෙම සංස්ථාවේ පිහිටුවා තිබෙන ආයෝජන කමිටුව හරහා පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව පමණක් ඒ පිළිබඳ තීරණ ගන්නා බව සඳහන් කළ සාක්‍ෂිකරු මෙම නඩුවට පාදක වී තිබෙන හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම වෙත ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් මිලියන 500ක් යැවීමේ ක්‍රියාව එම සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්ඩල තීන්දු මත සිදුකර ඇති බවද සඳහන් කළේය.

මෙම නඩුවට පාදක වී තිබෙන හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම සියයට සියයක්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කොටස් හිමිකම් සහිත සමාගමක් බවත් ලිට්රෝ ගෑස් සමාගමෙන් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගම වෙත රුපියල් මිලියන 500ක් යොමු කිරීම සිදු කරනු ලැබුවේ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත හයට් රීජන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් බව තමා දැන සිටියේ යැයිද සාක්‍ෂිකරු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් සඳහන් කළේය.

විත්තිතියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු දුන් සාක්‍ෂිකරු 2010 වසරේ ලිට්රෝ ගෑස් සමාගම රජයට පවරා ගැනීමට පෙර එය පාඩු ලබමින් පැවැති ආයතනයක් බව පෙන්වා දුන්නේය. විත්තිකාර ගාමිණි සෙනරත් මහතා එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළම සමාගම රුපියල් මිලියන 665 සිට රුපියල් බිලියන 3.4ක් දක්වා වර්තාගත ලාභ පෙන්නුම් කළ බව විගණන වාර්තාවලින් අනාවරණයට වී ඇති බවද සාක්‍ෂිකරු විත්තියේ නීතිඥවරුගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. ලිට්රෝ ගෑස් සමාගම 2014 වසරේ රුපියල් බිලියන 3.8ක වාර්ෂික ලාභයක් වාර්තා කළද 2017 වසර වන විට එම ලාභය රුපියල් මිලියන 260ක් දක්වා පහත වැටී ඇති ආකාරය එම විගණන වාර්තාවලින් වැඩිදුරටත් අනාවරණය වන බවද සාක්‍ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

තමා 2013 වසරේ සිට 2015 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හා ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් කටයුතු කළත් ලිට්රෝ ගෑස් සමාගමෙන් කිසිදු දීමනාවක් ලබා නොගත් බව සඳහන් කළ සාක්‍ෂිකාර දෙහිගම මහතා රක්ෂණ සංස්ථාවෙන් ලබාගත් දීමනා සුබසාධන කටයුතු සඳහා යෙදවූ බව ප්‍රකාශ කළේය. තමා ව්‍යාපාරිකයකු බවත් තමන් සතු ව්‍යාපාරික හා තොරතුරු තාක්‍ෂණ ඥානය රාජ්‍ය ක්ෂේත්‍රය වෙත ලබාදීම සඳහා තමා මෙලෙස අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් පත්වී කටයුතු කළ බවද සාක්‍ෂිකරු වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් සඳහන් කර සිටියේය.

අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 26 වැනිදා තෙක් කල් තැබිණි.

2014 වසරේ පෙබරවාරි 01දා සිට 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර සිටිති.

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon