රත්නපුර මාරපනදී සිදුවූ මාරක රිය අනතුරකින් දෙදරු මවක හා සිඟිති පුතෙක් මරුට

  👤  2316 readers have read this article !
By mawbima 2018-11-19

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

රත්නපුර මාරපන ප්‍රදේශයේදී පෙරේදා (17දා) ත්‍රිරෝද රථයක් හා වටාපොත සිට රත්නපුර දක්වා ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මාරාන්තික රිය අනතුරකින් දෙල්වල ගොඩගම්පොළ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක් හා ඇයගේ අවුරුද්දයි මාස 09ක් වයසැති සිඟිති පුතු මියගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙල්වල ගොඩගම්පොළ පදිංචි මධුෂානි නිරෝෂිකා නමැති කාන්තාව හා ඇගේ බාල පිරිමි දරුවා වන සුධීර ප්‍රබුද්ධ කාරියවසම් වන අයයි. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු වන රතු අඩුගේ වසන්ත පෙරේරා යන අයද බරපතළ තුවාල ලබා රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ත්‍රිරෝද රියේ ගමන් කළ මියගිය කාන්තාවගේ සැමියාද ඇගේ සොහොයුරියද වයස අවුරුදු 5ක් වන අනෙක් දරුවාද තුවාල ලබා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

බස් රථයේ රියැදුරා රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතා පවසා සිටියේ ත්‍රිරෝද රථ රියැදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි. අනතුරක් වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හා අපරීක්ෂාකාරී රිය ධාවනය මත බස් රථ රියැදුරාද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද ස්ථානාධිපතිවරයා පැවැසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් රත්නපුර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පො.කො. මනතුංග (53861), පො.කො. සංජීව (82208) යන නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon