ජනාධිපති සිරිසේන සාකච්ඡා කළ යුත්තේ අප සමඟ නොව සිය හෘදසාක්‍ෂිය සමඟයි

  👤  2437 readers have read this article !
By mawbima 2018-11-19

ඇති කළ දේශපාලන අස්ථාවරභාවයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයා බැවින් ඔහු සාකච්ඡා කළ යුත්තේ තම හෘද සාක්‍ෂිය සමඟ මිස ජනතා විමුක්ති පෙරමුණ සමඟ නොවන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තුවට අදාළ මූලික වගකීම වන්නේ නීති සම්පාදනය හා මූල්‍ය වගකීම බැවින් සුළුතර ආණ්ඩුවකට මෙම කරුණු දෙකම ක්‍රියාත්මක කළ නොහැකි බව පවසන ජ.වි.පෙ. නායකයා කියා සිටියේ මෙම සුළුතර නීති විරෝධී මේ ආණ්ඩුවට හැකි එකම දෙය තම තමන්ට එරෙහිව එල්ල වී ඇති නඩු යටපත් කර ගැනීම පමණක් බවය.

රට අස්ථාවර කිරීමේ කාර්යයට අතගැසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ යුතු වන්නේ අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කර දැන් හෝ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ඊයේ (18දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

ජනාධිපතිවරයා ඊයේ සවස 5.00ට විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අපිට දැනුම් දී තිබෙනවා. පක්‍ෂයක් ලෙස එයට සහභාගි නොවීමට අප තීරණය කොට තිබෙනවා. ඊට හේතු සඳහන් කොට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා. මෙම අස්ථාවරත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි. අස්ථාවරත්වය පිළිබඳ අප සමඟ සාකච්ඡා කොට පලක් නැහැ. මුළුමනින්ම එය සමනය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු සාකච්ඡා කළ යුත්තේ ඔහුගේ හෘදසාක්‍ෂිය සමඟයි. මෙම අස්ථාවරත්වය ඇති වීමට ප්‍රධාන කරුණු 3ක් බලපාලා තිබෙනවා. පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත්‍රිවරයකු අගමැතිවරයා ලෙස පත්කිරීමත්, වට ගණනාවකින් කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පත්කිරීම අර්බුදයේ ආරම්භයයි. අනතුරුව බහුතරය හදා ගැනීමට මන්ත්‍රිවරු මිලදී ගැනීමට පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළා.

ඊළඟට මන්ත්‍රිවරු මිලදී ගැනීමට මෙහෙයුමක් දියත් කළා. එයද අසාර්ථක වූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පසුව අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේදී නිසි පරිදි විශ්වාසභංගයක් සම්මත වී තිබියදී ව්‍යවස්ථානුකූලව කටයුතු නොකිරීම. මේ සියල්ලටම වගකිව යුත්තේ ජනාධිපතිවරයායි.

සම්මත වූ විශ්වාසභංග යෝජනාව විධිමත් නැති බවත්, ස්ථාවර නියෝගවල හිල් සෙවීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත් වී තිබෙනවා. අප විසින්ම ඉදිරිපත් කළ විශ්වාසභංගය නිසි පරිදි ඉදිරිපත් කළ බවට සාක්‍ෂි අප සතුව තිබෙනවා. ස්ථාවර නියෝග 135 යටතේ විශේෂ කටයුත්තක් සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම ස්ථාවර නියෝගයක් අත්හිටුවිය හැකි බවත් සඳහන් වෙනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

ඔවුන් ගෙන එන ඊළඟ තර්කය තමයි හඬ අනුව ඡන්දයකට ඉදිරිපත් වීම වැරැදි බව. ස්ථාවර නියෝග 47.1 අනුව කථානායකවරයාට කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකියි. 18 වැනි සංශෝධනය ගෙන ආ 2010 සැප්තැම්බර් 08 වැනිදා එවකට කථානායක චමල් රාජපක්‍ෂ විසින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ඡන්දය අවසාන වන තෙක් කාලය ලබා ගැනීම සඳහා ඡන්දය විමසුවේ කට හඬවල් අනුවයි. ඒ විතරක් නෙවෙයි, කරු ජයසූරිය විපක්ෂ මන්ත්‍රිවරයා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන වෙලාවේදී හඬ අනුව ඡන්දය ගත්තා. ඒ නිසා විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ සම්මතයි. පාර්ලිමේන්තුවේ මෙය සම්මත වූ පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.2 වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. ඒ නිසා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න දිවුරුම් දුන් ජනාධිපතිවරයා ඒ අනුව කටයුතු කළ යුතුයි. එය ක්‍රියාත්මක නොකර කල් මැරීමේ විගඩම වහා නතර කරන ලෙසට අපි ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.

කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් අටවා ගැනීම රාජපක්‍ෂ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වූයේ ඔවුන්ට එරෙහිව තිබෙන නඩු යටපත් කර ගැනීමයි. ඇවන්ගාඩ් ගනුදෙනුව නිසා රජයට රුපියල් බිලියන 11.4ක් (බැඳුම්කරයේ පාඩුවට සමානයි) පාඩු කළේ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහි නඩුව 2019 පෙබරවාරි 26 වැනිදා කැඳවීමට නියමිතයි. ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය නිසා ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහි නඩුව විශේෂ මහාධිකරණය හමුවේ දෙසැම්බර් 04 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් රු. ලක්‍ෂ ගණනක් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුව 2019 ජනවාරි මස 23 වැනිදා කැඳවීමට නියමිතයි.

රාජපක්‍ෂ පාලන සමයේ මන්ත්‍රිවරයකු වන නාමල් රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් සිවුදෙනකුට එරෙහිව එන්.ආර්. කන්සල්ටන් සමාගම යටතේ රු. මිලියන 15ක මුදල් අයථා ලෙස උපයා ගැනීමට එරෙහිව නඩුව 2019 මාර්තු මස 07 වැනිදා කැඳවීමට නියමිතයි. ඒ වගේම අයථා ලෙස උපයා ගත් රු. මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමට ආයෝජනය කිරීම සම්බන්ධව නාමල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් 06කට එරෙහි නඩුව නොවැම්බර් මස 30 වැනිදා කැඳවීමට නියමිතයි.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහි වීරවංශ මහතාගේ බිරියට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි. දිවිනැඟුම අරමුදලේ රු. මිලියන 2992ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමට එරෙහිව බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවක් 04කට එරෙහි නඩුව නොවැම්බර් මස 26 වැනිදා කැඳවීමට නියමිතයි. 2014 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩුව දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතයි. මහජනයාට බාධා කරමින් උද්ඝෝෂණ සංවිධානය කළ වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුව පෙබරවාරි 11 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන නඩුව නොවැම්බර් 29 වැනිදා කැඳවීමට නියමිතයි.

නාමල්, ගෝඨාභය, බැසිල්, ගාමිණි, ඩිලාන්, වීරවංශ, ජොන්ස්ටන්, මහින්දානන්ද අලුත්ගමගේ, ශිරන්ති රාජපක්ෂ කලබල වෙන එක පුදුමයක්ද? පුටුවලින් ගහන එක පුදුමයක්ද? මේ නිසා තමයි ඔවුන් බලහත්කාරී පාලනයක් ගොඩනඟාගෙන බලහත්කාරී ලෙස රැඳී සිටින්නේ. මෛත්‍රිපාල සිරිසේන දැනුවත්ව හෝ නොදැනුවත්ව දායකත්වය ලබාදෙමින් තිබෙන්නේ ඝාතකයන්, වංනිකයන් ආරක්‍ෂා කිරීමටයි. ඔවුන් ආරක්‍ෂා කිරීමේ ප්‍රමුඛතමයාගේ චරිතය රඟපාන්නේ ඔහුයි. එනිසා අපි මෛත්‍රිපාල සිරිසේනට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන ලෙසයි.
මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

මහජන නියෝජිතයන්ගේ මේ හැසිරීම අනුමත කළ නොහැකියි නේද?

මේ අර්බුදය වෙනුවෙන් ඔළුගෙඩි මාරුවෙන් කවුරු පාර්ලිමේන්තුව හැදුවත් එය ජනවරම ඔළුවෙන් හිටුවීමක් ලෙසයි අපි දකින්නේ. එනිසා විධිමත් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයට යායුතු වන්නේ කුමන්ත්‍රණකාරී අනීතික ව්‍යවස්ථා විරෝධී පාලනයක් සහිතව නොවේ. පාර්ලිමේන්තුවේදී ඡන්දයකට ඉඩ නොදෙන අය ගමේ පුරවැසින්ට සාධාරණ ඡන්දයක් ලබාදෙයිද? කථානායකවරයාට පුටුවෙන් පහර දෙන, බයිබලයෙන් පහර දෙන අය, අතට හසුවන ඕනෑම දෙයකින් පහරදීමට සූදානම් අය මන්ත්‍රිවරුන්ට පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු සහිත දියරවලින් පහරදෙන අය රූපවාහිනි ආයතනවල සජීවී විකාශය කරමින් තිබියදී පාර්ලිමේන්තුවේදී ඔවුන් හැසිරෙන්නේ මෙහෙම නම් පාර්ලිමේන්තු ඡන්දයකට ගමේ කොහොම හැසිරෙයිද? පළමු කොටම දේශපාලන කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

ඔබලා ගෙනා විශ්වාසභංගය විධිමත්ව සිදු නොවූ බවයි ආන්දෝලනයට තුඩුදී තිබෙන්නේ?

විශ්වාසභංග විවාදයට ගැනීමට ඉඩ ලබානොදුන්නේ මහින්දගේ හා මෛත්‍රිගේ මන්ත්‍රි කණ්ඩායමයි. එය මුළු රටම දැක්කා. 16 වැනිදා කථානායක පුටුව වටකරගෙන කඩාකප්පල්කාරී කළේ අරුන්දික ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රි කණ්ඩායම, එතැන වැඩි පිරිසක් නඩුවලට සම්බන්ධ අය.

ජනතාව තුළ අර්බුදය ගැන නිවැරැදි අවබෝධයක් නැතිකම ප්‍රශ්නයක් නේද?

දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාව දැනුවත් කිරීමට අප කාර්යභාරයක් කරනවා. වගේම මාධ්‍යවේදීන්ටත් කාර්යභාරයක් තිබෙනවා. අප සියලු දෙනා එකතු වුණොත් ජනතාව දැනුවත් කරන්න පුළුවන්.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon