විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තාවෝ කලින්ම ගෙදර එති

  👤  2295 readers have read this article !
By mawbima 2018-11-19

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී බටහිර ඉනිදීය කොදෙව් ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 83ක දැවැන්ත පරාජයක් වැලඳගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. ඒ අනුව එම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අහිමි විය.

සාන්ත ලුසියාහි ඩැරන් සමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකාරිනියන් වූ හේලි මැතිව් ලකුණු 62ක් සහ ශකිරා ඩොටින් ලකුණු 49ක් ලබා ගත්හ: තවද බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකා ස්ටැෆනි ටේලර් පන්දු 25කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 41ක් ලබා ගත්තාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධිනී, ඕෂධී රණසිංහ සහ ශෂිකලා සිරිවර්ධන එක් කඩුල්ල බැගින් බිඳලූහ.

ඒ අනුව ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේදී සියලුම ක්‍රීඩිකාවන් දැවීගොස් ලබාගත හැකි වූයේ ලකුණු 104ක් පමණි. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 44ක් ලබා ගත්තද අනෙක් කිසිදු පිතිකාරිනියකට ලකුණු 20 සීමාවට ළඟාවිය නොහැකි විය. හේලි මැතිව් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තාය. මෙම තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූ හේලි මැතිව් තරගයේ වීරවරිය ලෙසින් සම්මාන දිනා ගත්තාය.

මේ අතර අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 52ක ජයග්‍රහණයක් වාර්තා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම 'බී' කාණ්ඩයෙන් දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් 2010 වර්ෂයෙන් පසුව ඉන්දීය කාන්තා කණ්ඩායමක්, කාන්තා විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon