සජිත්ට නායකත්වය බාරදී ගෙදර යන්න

  👤  2425 readers have read this article !
By mawbima 2018-11-19

පක්ෂයේ ඉහළ මට්ටමේ නිලතල සඳහා ඩී.එම්. ස්වාමිනාදන්, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ වැනි ජනවිඥානය නොහඳුනන එසේම ජනපදනමක් නොමැති අය තෝරා ගැනීම නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට පක්ෂයට හෝ පාක්ෂිකත්වයට ස්ථිරසාර ජයග්‍රහණයක් ලබාදීමට නොහැකි වී ඇති බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බලය එක පිරිසක් අතර විතැන් වීම හා නායකත්වය බිම් මට්ටමේ පාක්ෂිකයාගේ හඬට කන් නොදීමද පක්ෂය මෙම තත්ත්වයට පත්වීමට හේතු වී ඇතැයි නගරාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.


පාක්ෂිකයා මෙන්ම අතිබහුතරයක් වූ පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත සජිත් ප්‍රේමදාස මහතා වෙත පක්ෂ නායකත්වය භාරදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වැනි ශේ‍ර්ෂ්ඨ නායකයන් ආදර්ශයට ගනිමින් සහ නව මුහුණුවරකින් පක්ෂය ඉදිරියට මෙහෙයවනු ලැබුවහොත් පාක්ෂිකයාටත් ආදරණීය මාතෘ භූමියටත් සැබෑ ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ලිපිය මඟින් දන්වා ඇත.


මාතලේ නගරාධිපති, දේශමාන්‍ය ඩල්ජිත් අලුවිහාරේ, රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රධාන කරුණු 11ක් යටතේ යවා ඇති එම ලිපියෙහි මෙසේද දක්වා ඇත.
'ශ්‍රී ලාංකේය දේශපාලනයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කීර්තිමත් දේශපාලන පක්ෂයක් වන එජාපයේ සාමාජිකයකු වීම ගැන මම පළමුකොට සතුටු වෙමි. වර්ෂ 78කට අධික කාලයකට එජාප දේශපාලනයට උරුමකම් කියන ඓතිහාසික මාතලේ අලුවිහාරේ පවුලේ දිවංගත ඇලික් අලුවිහාරේ මැතිතුමාගේ දෙවැනි පුත්‍රයා වශයෙන් මා ද මේ මොහොතේ මාතලේ පුරපති ලෙස කටයුතු කරන්නේ මහත් අභිමානයෙනි.


මාගේ වැඩිමහල් සහෝදරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මැතිතුමා හා අනෙක් සහෝදරයා වන මාතලේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත අලුවිහාරේ මැතිතුමා මෙම තීරණාත්මක මොහොතේ විවිධ තනතුරු, ඇමැතිකම්, මුදල් ආදී කිසිවකට පක්ෂය පාවා නොදී දිවිහිමියෙන් පක්ෂය වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බවද ඉතාම සතුටින් මතක් කිරීමට කැමැත්තෙමි. මෙම තීරණාත්මක මොහොතේ පක්ෂයත්, ආදරණීය පාක්ෂිකයන් පිළිබඳවත් කල්පනා කර බලා එජාප නායකත්වයට මෙසේ ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් යුක්තව සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත නායකත්වය භාරදීම සඳහා ආයාචනා කිරීමට මම සිතුවෙමි.


අපේ ආදරණීය පක්ෂයේ ආරම්භක නායකත්වය හෙබවූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් ශ්‍රී ලාංකේය ජන පදනම, ජන හද ගැහෙන රාවය හඳුනාගෙන ගල්ඔය, මිනිපේ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කළේය. ඉන් අනතුරුව පක්ෂ නායකත්වයට පැමිණි ඩඩ්ලි සේනානායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලාංකේය ජනවිඥානය අතැඹුලක් සේ අවබෝධ කරගනිමින් අපේ පක්ෂය ඉදිරියට මෙහෙයවනු ලැබුවේ පක්ෂයටත්, පාක්ෂිකයාටත් අතිමහත් ජයග්‍රහණ බුරුතු පිටින් ලබාදෙමිනි. 'ජනසවිය', 'ගම් උදා ව්‍යාපාර' තුළින් විවිධ සමාජ කොටස් සම්බන්ධ කරගනිමින් ශක්තිමත් ගමනකට ආර්. ප්‍රේමදාස මැතිතුමා පක්ෂය අවතීර්ණ කළ ආකාරය තවමත් අපිට මතකය.


එහෙත් 1994න් පසු අප පක්ෂයේ නායකත්වය භාරගත් වර්තමාන නායකතුමා වශයෙන් කටයුතු කරන ඔබතුමා හට මෙතෙක් පක්ෂයට හෝ පාක්ෂිකයාට ස්ථිරසාර ජයග්‍රහණයක් ලබාදීමට හැකිවීද යන්න පිළිබඳව සියලුම පාක්ෂිකයන් තුළ පවතින්නේ වේදනාත්මක කුතුහලයකි.


මීට හේතු ලෙස මා ප්‍රත්‍යක්ෂ කොටගත් ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි සාරාංශ කොට දක්වමි.


01. පක්ෂ නායකත්වය අවශ්‍ය මාත්‍රාවට ශ්‍රී ලාංකේය සංස්කෘතිය සමඟ බද්ධ නොවීම.
02. පක්ෂය තුළ විශේෂයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිරිහී යෑම.
03. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බලය එක පිරිසක් අතර විතැන් වීම.
04. නායකත්වය බිම් මට්ටමේ පාක්ෂිකයාගේ හඬට කන් නොදීම.
05. 1994න් පසු බලයට පත් අවස්ථා දෙකේදීම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස කැබිනට් අමාත්‍ය ධුර ලබා දී බලය විමධ්‍යගත නොකිරීම.
06. විවිධ හේතු මත පක්ෂය හැරගිය අර්ල් ගුණසේකර මැතිතුමා, තිස්ස අත්තනායක මැතිතුමා, ඉමිතියාස් බකීර් මාකර් මැතිතුමා වැනි නායකයන් හා මර්වින් ද සිල්වා මැතිතුමා වැනි කථිකයන් පක්ෂය වෙත නැවත සම්බන්ධ කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීම.
07. බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත්ව ගොඩනඟා නොතිබීම.
08. පක්ෂයේ ඉහළ මට්ටමේ නිලතල සඳහා ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා, තිලක් මාරපන මැතිතුමා, මලික් සමරවික්‍රම මැතිතුමා, ආශු මාරසිංහ මැතිතුමා වැනි ජනවිඥානය නොහඳුනන හා ජන පදනමක් නොමැති අය තෝර ගැනීම.
09. පක්ෂයේ සිංහල බෞද්ධ පදනම මෙන්ම ග්‍රාමීය ඡන්ද පදනම දැඩි සේ සෝදා පාළුවකට ලක්ව තිබීම හා එය නිවැරැදි කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළකට අවතීර්ණ නොවීම.
10. මහ බැංකු බැඳුම්කර සිද්ධි වැනි සිදුවීම් සම්බන්ධයෙන් වූ ගැටලුව ගැන ජනතාව දැනුවත් නොකිරීම.
11. අවස්ථාවට අනුව ගොඩනැඟෙන දේශපාලන තත්ත්වයන් මනාව කළමනාකරණය නොකිරීම.
උක්ත දුබලතාවලින් පක්ෂය මුදාගෙන ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීම මේ මොහොතේදී අනිවාර්ය තත්ත්වයක් වී ඇත. එබැවින් පාක්ෂිකයා මෙන්ම අති බහුතරයක් පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම වන සජිත් ප්‍රේමදාස මහතා වෙත පක්ෂ නායකත්වය භාරදී හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් වැනි ශේ‍ර්ෂ්ඨ නායකයන් ආදර්ශ කරගනිමින් සහ නව මුහුණුවරකින් පක්ෂය ඉදිරියට මෙහෙයවනු ලැබුවහොත් පාක්ෂිකයාටත්, මාගේ ආදරණීය මාතෘ භූමියටත් සැබෑ ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.'
මෙයට හිතවත් දේශමාන්‍ය ඩල්ජිත් අලුවිහාරේ (සා.වි.නි.ම.), නගරාධිපති, මහ නගර සභාව, මාතලේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon