බහුතරයක් නැතිව මහින්දට අගමැතිකම දරන්න අයිතියක් නෑ

  👤  2326 readers have read this article !
By mawbima 2018-11-19

ලක්ෂ්මී ජයකොඩි

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අපොහොසත් වූ මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමටත් ඔහුගේ පාර්ශ්වයට අමාත්‍ය ධුර දැරීමටත් තවදුරටත් කිසිදු අයිතියක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා කියා සිටී.

ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එම ධුරයේ බලහත්කාරයෙන් සිටින්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවයි.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.


පාර්ලිමේන්තුවේ හැසිරීම් ඔබ දකින්නට ඇති. පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා මෙම ප්‍රශ්නය ඇති වුණේ. එදින ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කොට තිබුණා. එහිදී රාජපක්ෂ මහතා තමන්ට තිබෙන බහුතරය පෙන්විය යුතුව තිබුණා. එය ප්‍රජාතන්ත්‍රවාදීමය වශයෙන් වූ යුතුකමක්. එම යුතුකම ඔහු ඉටු කළේ නැහැ. පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවක් ඉදිරිපත් කොට තමන්ට බහුතරය තිබෙන බව ඔහු පාර්ලිමේන්තුවේ ඔප්පු කළේ නැහැ.


ඒ වෙනුවට ඔහු කළේ තමන්ගේ පාර්ශ්වයන්ට අමාත්‍ය ධුර පිරිනැමීමයි. එමෙන්ම මුදල් විශාල වශයෙන් ලබාදී මන්ත්‍රිවරුන් බිලී බා ගැනීමේ විශාල ප්‍රයත්නයක් ක්‍රියාත්මක වුණා. එය මුළු රටම දන්නා කාරණයක්. එසේ සිදු කළත් ඔහුට බහුතරය සාදාගැනීමට නොහැකි වුණා. මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ සහාය ලබා ගැනීමට ඔහුට නොහැකි වුණා. මේ නිසා ඔහු පිළිබඳව විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කරමින් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා.එම විශ්වාසභංගය සම්මත වුණේ 'හඬ' අනුවයි. එය නීත්‍යනුකූලයි. ඉන්පසුව තමන්ට මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි හා කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නැති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122කගේ අස්සනින් යුතුව එම යෝජනාව කථානායකවරයා වෙත භාර දුන්නා. එම යෝජනාව පසුව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා.


මේ මස 12 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කරමින් නැවත වරක් ඔහු පිළිබඳව පැවැත්වූ විශ්වාසභංගයක් සම්මත වුණා. නමුත් එදින මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය කථානායකවරයාට පහරදීමට උත්සාහ කළා. මහින්ද මහතා පිළිබඳ විශ්වාසයක් නොමැති බවට විශ්වාසභංග තුනක් මේ වනවිට සම්මත වී තිබෙනවා. මේ නිසා ඔහුව එම ධුරයෙන් ඉවත් කොට තිබෙනවා. පාර්ලිමේන්තු තීරණයට අනුව මහින්ද රාජපක්ෂ මහතාව ධුරයෙන් ඉවත් කොට තිබෙනවා. මේ නිසා මින් ඉදිරියට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට ඔහුට කිසිම අයිතියක් නැහැ. කැබිනට් මණ්ඩලයටත් එම ධුර දැරීමට කිසිදු අයිතියක් නැහැ. ඔවුන් පරාජය කළ යුතුයි. ඔවුන් එම ධුරවලින් ඉවත් නොවන්නේ නම් එම කටයුත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුයි.


කථානායකවරයාට පහරදීමට උත්සාහ කර තිබුණා. පොත්වලින්, පුටුවලින්, විවිධ උපකරණවලින් පහරදීමට උත්සාහ කර තිබුණා. මෙයද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අග්‍රාමාත්‍යවරයා වන තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය නොහැකිවීම හමුවේ මෙලෙස තම සගයන්ට හැසිරීමට අවස්ථාව ලබාදීමද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මෙයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම කියන්නේ. ජනතාව මේ ගැන සිතන්න ඕනෑ.


පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්විය නොහැකි අග්‍රාමාත්‍යවරයකු හෝ කැබිනට් මණ්ඩලයක් තිබිය නොහැකියි. එය නීති විරෝධීයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය පටහැනියි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි. මෙය අවසන් කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon