ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කෙරෙන මේ රස්තියාදු වැඩපිළිවෙළ අපි ප්‍රතික්‍ෂේප කරනවා -මනුෂ නානායක්කාර

  👤  726 readers have read this article !
By mawbima 2018-11-19

ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් තමන් ගත් දේශපාලන තීන්දුව සමඟ ගාල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු හා මැතිවරණ අපේක්‍ෂකයන් එක්ව සිටින බවත් ඉදිරි මහ මැතිවරණයකට පුළුල් දේශපාලන සන්ධානයකින් ඉදිරිපත් වන බවත් පසුගියදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

මනුෂ නානායක්කාර මහතා ගත් දේශපාලන තීන්දුව සමඟ ගාල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රිවරු එක්වූ අතර ඔවුන් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේය. එහිදී නාගරික මන්ත්‍රිරු හා අපේක්‍ෂකයන් පහළොස් දෙනෙක් මනුෂ නානායක්කාර මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් විය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

"අද වන විට අමාත්‍යාංශවල වැඩ කටයුතු සිදුවෙන්නේ නෑ. නීත්‍යනුකූල නොවන රජයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා තමයි අපි නීති විරෝධී ආණ්ඩුවේ ඉන්නේ නෑ කියන දේශපාලන තීන්දුව ගත්තේ. අපි කණ්ඩායමක් ලෙස තමයි මේ තීන්දු ගන්නේ. අද ගාල්ල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු, මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්‍ෂකයන් එකා සේ තීන්දු අරගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමටයි. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එළියට බැහැලා ඉන්නේ. මේ කෙරෙන රස්තියාදු අකෘතඥ වැඩපිළිවෙළ අපි එකහෙළා ප්‍රතික්‍ෂේප කරනවා.

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ දේවල් බලන්න. කථානායකතුමාට එතුමාගේ පුටුවෙ වාඩිවෙන්න දුන්නා නම්, ඡන්දයක් ගන්න ඉඩ ලබා දුන්නා නම් තමන්ගේ බහුතරය පෙන්වන්න තිබුණා. හැබැයි තමන්ට පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් නැති විට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාවක් දෙන්නේ නෑ. ඒ අවස්ථාවේදී කථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කරලා තියෙනවා. කථානායකවරයා තමන්ගේ පුටුවේ වාඩි නොවුණට වෙනත් ආසනයක වාඩිවෙලා, සෙංකෝලය පාර්ලිමේන්තුවේ තිබියදී ඡන්දයක් ලබාගත්තා. මේවා නීත්‍යනුකූලව වැඩ කරලා තියෙනවා.

තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරි වුණාම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට සමහරු කටයුතු කරනවා. සල්ලිවලට මන්ත්‍රිවරු බිලී බාගන්න බැරි වුණාම පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය වැරදියි කියලා කියනවා. මේ ක්‍රියාදාමය හරිද වැරැදිද කියලා අප කියලා දෙන්න ඕන නෑ. රටේ ජනතාව පාර්ලිමේන්තුවේ වෙන්නේ මොකක්ද කියලා රූපවාහිනියෙන් දකිනවා. මාධ්‍ය හරහා පාර්ලිමේන්තුවේ අමනෝඥ රැළ හැසිරෙන ආකාරය දකිනවා.

මේවාට වගකියන්න ඕන තමන්ගේ පෞද්ගලික වෛරවලට, පෞද්ගලික තරහට අමනෝඥ තීරණ ගත් අයයි. මේ රටට සිදුවී ඇති වින්නැහියට මේ අය වගකියන්න ඕන. මේ වෙලාවේ එකසිය දහතුන තියෙන්නේ කාටද, ඒ අයට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. අපි මැතිවරණයට බය නෑ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයට ඡන්දයක් දෙන්න ඕන. ඇතැම් අයගේ අවශ්‍යතා අනුව නෙමෙයි ඡන්දයක් දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදීව අපි මැතිවරණයට යමු. මහ මැතිවරණයට අපි වෙනදාට වඩා පුළුල් ආකාරයට මැතිවරණයකට යනවා. රටම බලා සිටින ගමනකට යෑමට අපි සූදානම්.

ඇමැති ධුර අතහැරලා අපි එළියට ආවේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට හා ප්‍රජාතන්තවාදය ආරක්ෂා කර දීමටයි. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමට මගෙන් පස්සේ තවත් මන්ත්‍රිවරු දෙන්නෙක් එකතු වුණා. තවත් මන්ත්‍රිවරු කණ්ඩායමක් අපි සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියේදී ගොඩනැඟෙන පුළුල් සන්ධානයක් යටතේ විශාල පිරිසක් අපි සමඟ එක්වීමට නියමිතව සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රාහී මාවතක් ඉදිරියේදී දකින්නට ලැබේවි.

ලිහා දමා සිටින දඩයම් සුනඛයන් බැඳ තැබීම නායකයන්ගේ වැඩක්. ඒ අයට නිදැල්ලේ ඉන්න ඉඩ හරිනවා නම් ඒ වගකීම නායකයන් භාරගත යුතුයි. අපිට නිදහසේ පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩ දෙනවා නම් ඔය කියන ක්‍රියාදාමයන් අනුව නැවත වරක් විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. හරියට පාර්ලිමේන්තුව ඇතුළේ හැසිරෙන්නේ නැති අය හරියට හසුරවා ගැනීම නායකයන්ගේ වගකීමක්.

ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා පත් කරන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි හැඟෙන පුද්ගලයා තමයි අගමැතිවරයා ලෙස පත් කළ යුතු වන්නේ. හැඟීම් දැනීම් ඇති අයෙක්ට වෙන විදියකට ඒක දැනෙන්න බෑනේ. දැන් පත් කර තිබෙන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ කියලා අපි පෙන්නලා දීලා තියෙනවා. එහෙම නම් මේ ආණ්ඩුවෙන් කරන හැම දේම නීති විරෝධියි. දැන් ඉන්න ඇමැතිවරු දෙන නියෝග වැරදියි. මේ නියෝග අනුව කටයුතු කළොත් රාජ්‍ය නිලධාරීන්ට නීතිමය පියවර ගැනීමට සිදුවෙනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon