බදුල්ල රෝහලේ අක්‍ෂි ශල්‍යකර්ම අසාර්ථක වූ රෝගීන්ගේ ඇස් ඉවත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි

  👤  743 readers have read this article !
By mawbima 2018-11-19

බදුල්ල - ඒ.අයි. හසන්

බදුල්ල පළාත් මහ රෝහලේ අක්‍ෂි ශල්‍යකර්ම දහයක පමණ සංඛ්‍යාවක් අසාර්ථක වීම මත එම ශල්‍යකර්ම සඳහා භාජන වූ රෝගීන් කිහිප දෙනකුගේම ඇස් මුළුමනින්ම ඉවත් කර තිබෙන බව රෝහල් ආරංචිමාර්ග 'මව්බිම'ට අනාවරණය කරයි.

මේ තත්ත්වය මැද රෝහලේ සියලුම අක්‍ෂි ශල්‍යකර්ම දෙසතියක පමණ කාලයක් වසා දමමින් සැත්කම් සියල්ල නවතා දමා තිබෙන බවද පැවැසේ.

රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ නියමය මත අභ්‍යන්තර විමර්ශනයක්ද මේ වන විට සිදුවෙමින් පවතින බවත් එහි කිසිදු තොරතුරක් පිටතට යෑම වළක්වා ඇති බවත් අප ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කර සිටියි.
මෙලෙස අක්‍ෂි ශල්‍යකර්ම වැරදීමෙන් සහ අක්‍ෂි වෙත විසබීජ ඇතුළු වීමෙන් ඇස් නරක් වූ රෝගීන් කිහිප දෙනකුම මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඔවුන්ගේ ඇස් ඉවත් කිරීම්ද සිදුකර ඇති බවත් ඔවුන්ට කෘත්‍රිම ඇස් බද්ධ කිරීම සඳහා දිනයන්ද ලබාදී තිබෙන බවත් වාර්තා වේ. යම් විසබීජයක් රෝගීන්ගේ ඇසට ඇතුළු වී ඇතිද නොඑසේ නම් වෛද්‍යවරියගේ අතින් සැත්කම් අසාර්ථක වී ඇතිද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ශල්‍යාගාරයේ සුද්ද පවිත්‍ර කරමින් එහි සාම්පල එකින් එක පරීක්‍ෂාවට ලක් කරමින් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකදී සඳහන් කර සිටියේ එවැනි අසාර්ථක වීමක් හෝ බරපතළ තත්ත්වයක් ශල්‍යකර්මවලින් සිදුනොවූ බවය. ඒ පිළිබඳ නැඟෙන චෝදනා අසත්‍ය බවත් ශල්‍යාගාරය වසා දමා ඇත්තේ නඩත්තු කිරීම සඳහා පමණක් බවත්ය.

දෛනිකව අක්‍ෂි ශල්‍යාගාරයේ අක්‍ෂි සැත්කම් 30ක් පමණ සිදුකළ බවත් අක්‍ෂි රෝගීන්ගේ සුරක්‍ෂාව ගැන සිතා අක්‍ෂි ශල්‍යාගාරය පවිත්‍ර කරමින් නඩත්තු කටයුතු සිදුකර විසබීජ ඇතුළු වීම වළකාලීමට පියවර ගත් බවත් අධ්‍යක්‍ෂවරයා කීය.

මෙලෙස බදුල්ල පළාත් මහ රෝහලේ අක්‍ෂි ශල්‍යාගාරයේදී අක්‍ෂි සැත්කමකට පැමිණ දකුණු ඇස මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවූ රෝගියකු අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේ.

"මගේ නම ජෝ සාලිහීන් (70). මම ඔක්තෝබර් 18 වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ අක්‍ෂි ඒකකයට ඇතුළත් වුණේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා කැඳවූ නිසයි. රෝහලේ අක්‍ෂි ශල්‍යාගාරයේදී මාගේ දකුණු ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. එම ශල්‍යකර්මය අසාර්ථක වීම නිසා මාව මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත්තා.

මහනුවර රෝහලේ වෛද්‍යවරුන් මා හට සිදු කරපු ශල්‍යකර්මය මුළුමනින්ම අසාර්ථක වී තිබෙන බවත් ඇස තුළට ඇතුළු වී තිබෙන විසබීජය මොළය දක්වා පැතිර ගියහොත් ඇස මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවන බවත් මේ නිසා හොඳටම නරක්ව තිබෙන දකුණු ඇස ඉවත් කිරීම හැර වෙන කිසිදු විකල්පයක් නැති බවත් කියා සිටියා. මේ නිසා මහනුවර පසුගිය ඔක්තෝබර් 29 වැනිදා මගේ ඇස ඉවත් කළා. මේ මාසේ 23 වැනිදා මට නුවර රෝහලට එන්න දින නියම කරලා තියෙනවා කෘත්‍රිම ඇසක් බද්ධ කරන්න.

මට මේ සිදු වුණු තත්ත්වය වගේම මා එක්ක බදුල්ල මහ රෝහලේ ශල්‍යකර්ම සඳහා භාජන වුණු රෝගීන් කිහිප දෙනකුද මහනුවර මහ රෝහලට පැමිණ සිටියා. ඒ අයටත් අත්ව තිබුණේ මට අත් වූ ඉරණමම තමයි. මම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා. රෝගීන්ගේ ජීවිතයට දෙවැනි නොවන ඇස එක්ක සෙල්ලම් කරන මේ වෛද්‍යවරු ගැන සොයා බලන්න කියලා" යැයිද සාලිහීන් මහතා පැවැසීය.

අප වෙත ලද තොරතුරු මෙලෙස අනාවරණය කරනු ලැබුවද මෙහි නිශ්චිතවම සිදුවී ඇත්තේ කුමක්ද යන්න අනාවරණය කර ගනිමින් රෝගී ජීවිත සුරක්‍ෂා කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon