දැරියන් පස් දෙනකුට අතවර කළ විදුහල්පති 28දා තෙක් රිමාන්ඩ්

  👤  764 readers have read this article !
By mawbima 2018-11-19

දමුණුපොළ - චමින්ද ජයලත්

වයස අවුරුදු 9ක බාලවයස්කාර පාසල් දැරියන් පස් දෙනකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයෙක් කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිලන්ති අබේරත්න මහත්මිය වෙත පෙරේදා (17දා) ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ හැලමඩ, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයකු ලෙස සේවය කරන 49 හැවිරිදි දෙදරු පියෙකි.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා කෑගල්ල, අඹුවක්ක ප්‍රාදේශයේ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව මාසයක පමණ කාලයක සිට සෑම සිකුරාදා දිනකම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අමතර පන්තියක් ආරම්භ කර උගන්වමින් සිට ඇති බව පොලිසිය කියයි.

මෙම විදුහල්පතිවරයා ඉකුත් 16දා හිතවතකුගේ අවමංගල්‍ය නිවෙසකට සහභාගි වී ආපසු සවස අමතර පන්තියට පැමිණෙමින් සිටියදී අතරමඟදී මත්පැන් පානය කර අමතර පන්තිය පවත්වාගෙන යනු ලබන අඹුවන්ගල ප්‍රාථමික විද්‍යාලය වෙත ගොස් ඇත. සිය දරුවන් පන්තිය වෙත යොමු කොට දරුවන්ගේ මවුපියන් අමතර පන්තිය ආසන්නයේ පන්තිය නිමවන තුරු රැඳී ඇති බවද අනාවරණය වේ.

පසුව විදුහල්පතිවරයා අමතර පන්තියේදී පාසල් ශිෂ්‍යාවන් පස් දෙනකුට ලිංගික අතවර සිදු කරමින් සිටින අවස්ථාවේදී ශිෂ්‍යාවන් බොහෝ පිරිසක් කෑ ගසා ඇත. පසුව පාසල ආසන්නයේ රැඳී සිටි මවුපියෝ දරුවන්ගේ කෑ ගැසීමට පැමිණ ඇති අතර එහිදී දරුවන් තමන්ට සිදුවූ දේ පිළිබඳ මවුපියන්ට ප්‍රකාශ කර තිබේ.

පසුව කුපිත වූ මවුපියෝ විදුහල්පතිවරයාට අතින් පයින් පුටුවලින් පහරදී අමතර පන්තියේ රඳවාගෙන 119 හදිසි දුරකථන අංකයට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත. ඊට සුළු වේලාවකට පසු එම ස්ථානයට ගිය කෑගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එන්. සමරනායක මහතා වෙත ඉදිරිපත් කර තිබිණි. ලිංගික අතවරයට ලක්වූවා යැයි කියන පාසල් ශිෂ්‍යාවන් පස්දෙනා හා ඔවුන්ගේ මවුපියන් ඇතුළු පිරිසක්ද කෑගල්ල මූලස්ථාන පොලිසිය වෙත පසුව පැමිණ තිබේ.

ඉන් අනතුරුව බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවන් පස්දෙනා පොලිසිය විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි. පසුව පොලිසිය සැකකාර විදුහල්පතිවරයාගෙන් හා බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවන් පස් දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පෙරේදා (17දා) සැකකරු කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිශාන්ති අබේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කළාය. එහිදී ඔහු නොවැම්බර් 28දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම කාලය තුළදී විදුහල්පතිවරයා මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමු කොට අදාළ වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon