හිනිදුම්ගොඩ නිවෙසක් තුළදී අම්මයි තාත්තයි මරා දැමූ සිද්ධිය ගැන පුතා සැක පිට අත්අඩංගුවට

  👤  2202 readers have read this article !
By mawbima 2018-11-20

මාපලගම - රසික සෙනවිරත්න, ඉමදුව - ටී. විතානවසම්

අක්මීමණ හිනිදුම්ගොඩ ප්‍රදේශයේ නිවෙසක් තුළදී අඹු - සැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට මියගිය යුවළගේ පුත්‍රයා ඊයේ (19දා) උදෑසන අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ නිවෙසේ පදිංචිව සිට ඇත්තේ රෝගී තත්ත්වයෙන් පසුවන පුතා, මව හා පියා පමණි.

සැකකාර පුත්‍රයා නාවික හමුදාවේ සේවය කොට මීට වසර 05කට පමණ ඉහතදී නාවික හමුදාවෙන් ඉවත්ව තිබේ. ඒ රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙනි.

තිස් දෙහැවිරිදි වියේ පසුවන සැකකාර පුත්‍රයා නිරතුරුව මවුපියන් සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බැව් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පෙරේදා (18දා) රාත්‍රි මොහු මවුපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර පසුව මව හා පියා ඝාතනය කොට නිවෙස පිටුපස ඇති කුණු අබලිද්‍රව්‍ය හා පොල්පරාල ගොඩක මළ සිරුරු දෙක සඟවා ඇති බවද පොලිසිය කියයි. නිවෙස තුළ හා ගෙවත්තේ තැනින් තැන ලේ පැල්ලම් දැකගත හැකි අතර මුළුතැන්ගෙයි තුළ තිබූ ලේ පැල්ලම් සැකකරු විසින් සෝදා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. යුවළ ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකරන පිහියක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙසේ ඝාතනය කොට ඇත්තේ කිරින්දලියනාරච්චිගේ චන්ද්‍රපාල (61) හා කොහොඹන්ගේ ප්‍රියන්ති මල්ලිකා (56) නමැති හිනිදුම්ගොඩ ආනන්ගොඩ ප්‍රදේශයේ පදිංචි යුවළකි. ඝාතනයට ලක්වූ කාන්තාව උඩුගම රෝහලේ උපස්ථායකවරියක් ලෙස කටයුතු කරන්නියකි. ඇයගේ සැමියා වඩුකාර්මිකයෙකි. සැකකාර පුත්‍රයා පියා සමඟ වඩුවැඩ සඳහා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර පුත්‍රයා අක්මීමණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලකවූ අඹු - සැමි යුවළගේ මහෙස්ත්‍රත් පරීක්ෂණ ඊයේ (19දා) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි. අක්මීමණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon