සමයං ගේ ප්‍රධාන ගෝලයා බව කියන කුංෆු රුවන් හෙරොයින් තොගයක් සමඟ දැලේ

  👤  2181 readers have read this article !
By mawbima 2018-11-20

ඒකල - ප්‍රසංග පාවුළුහේවා

ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන සමයං නමැත්තාගේ ප්‍රධානතම ගෝලයා බව කියන රුවන් සම්පත් සූරතිස්ස (24) නොහොත් කුංෆු රුවන් නමැත්තා හෙරොයින් තොගයක් සමඟ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇළ හෙට්ටිගම ප්‍රදේශයේදී යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමඟ ගමන් කරමින් සිටියදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 270ක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගිගිරිපුරගේ සඳරුවන් ගුණතිලක (30) නමැති සක්‍රිය හමුදා සේවයේ නියුතු අයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට පත් රුවන් සම්පත් සුුරතිස්ස නමැත්තා නවගමුව පොලිස් වසමේ සිදුකළ මනුෂ්‍ය ඝාතන 2කට හා අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ රූපලාවණ්‍ය ශිල්පිනියගේ ඝාතනයේ සැකකරුවකු බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ඔවුන් සම්බන්ධ හෙරොයින් ජාවාරම හා අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පමුණුගම පොලිසිය විසින් සිදුකරනු ලබයි. අදාළ සැකකරුවන් බස්නාහිර පළාතේ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතා හා පොලිස් කොස්තාපල්වරුන් වන ලසන්ත (87313), ජයතිලක (31163), මධුෂංක (91704), පොලිස් කොස්තාපල් රියැදුරු විනෝද් (89804), ජයසිංහ (15079) යන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඩබ්ලිව්.එස්. තලක්සිරි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon