ඩුබායි සිට නීති විරෝධී ලෙස සිගරැට් තොගයක් මෙරටට ගෙනා ශ්‍රී ලාංකික 4ක් රේගු දැලේ -කාන්තාවකුත් ඒ අතර

  👤  2118 readers have read this article !
By mawbima 2018-11-20

ආරියරත්න ගනේගොඩ

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවු දෙනකු පෙරේදා (18දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව "මව්බිම" කළ විමසුමකදී රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළදී මෑත ඉතිහාසයේ සිදුකළ විශාලතම දුම්වැටි වැටලීම මෙය යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නීති විරෝධී දුම්වැටි තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ සිවු දෙනා කුලියාපිටිය, නාත්තණ්ඩිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 39, 40 සහ 49 වයස්වල පසුවන ව්‍යාපාරිකයන් තිදෙනකු හා ව්‍යාපාරික කාන්තාවකි.

මොවුන් කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී විදේශ රටවල් වෙත ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ යෙදී සිටින්නන් බව රේගුව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල ලක්ෂ 69ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1, 38,000ක් අඩංගු දුම්වැටි කාටුන් 690ක් සඟවා ගෙන තිබූ බව රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන යූ.කේ. අශෝක රංජිත්, ඩී.ජී.එම්. ගුණවර්ධන, රේගු අධිකාරිවරුන් වන ආර්.එම්.කේ. දයානන්ද, එස්. රණසිංහ, සහකාර රේගු අධිකාරිවරුන් වන ඩී.එම්. ආර්. සිරිල්, එච්.එම්.පී.එන්. ගුණවර්ධන, එල්.එස්. ගමගේ සහ ජී.ටී.ටී. රත්නායක යන නිලධාරීන් සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon