මුහුණ එක්ක තරහ වෙලා ජනාධිපති නහය කපා ගත්තා

  👤  2466 readers have read this article !
By mawbima 2018-11-21

2015 ජනවාරි 8දා පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරමින් අවධාරණය කළේ ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේනත්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහත් පත්කර ගෙන රාජපක්ෂ පවුල් පාලනය එළවා දැමීමට ඡන්දය පාවිච්චි කරන ලෙස බවත් ඒ අනුව එජාපයේ ඡන්ද ලක්ෂ 55ක් ඇතුළුව ලක්ෂ 62ක් ජනතාව එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කළ බවත් නීතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ පසු පොරොන්දු වූ පරිදි දින සියයේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වුවද සුළුතරයක් එනම් මන්ත්‍රින් 45ක් සහිත එම ආණ්ඩුවට කිසිදු අභියෝගයක් එල්ල නොවූ පසුබිම මත 2015 අගෝස්තු 15 දින මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරෙන තෙක් ආණ්ඩුවට සාර්ථකව ඉදිරියට ඒමට හැකිවුණා.

ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව නීත්‍යනුකූල අගමැතිවරයා ඉවත් කර නීති විරෝධී ලෙස අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමට එරෙහිව 18දා පැවැති විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වෙමින් රෝස් ප්‍රනාන්දු මහත්මිය මෙසේද සඳහන් කළාය. "එදා දින සියයේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් වන විට කටක් හොල්ලපු නැති මිනිස්සු අද අහනවා රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිවරුන් 45ක් එක්ක අගමැති වුණේ කොහොමද කියලා. ඔය ප්‍රශ්න නඟන එදා හැංගිලා හිටපු එක් අයෙක් හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එරෙහිව එක විශ්වාසභංග යෝජනාවක් හරි ඉදිරිපත් කළාද? ප්‍රශ්නය තියෙන්නේ එතැනයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව යටතේ අයවැය ගෙනාවා, තොරතුරු දැන ගැනීමේ පනත, විගණන පනත ඇතුළු ජනතාවාදී අණපනත් ගෙනාවා. ඒවා එකක් හෝ අභියෝගයට ලක් කරන්න ඒකාබද්ධ විපක්ෂයට ඕනකමක් තිබුණේ නැහැ.

අද මොකද වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා මුහුණ සමඟ තරහ වී නහය කපාගන්නා ආකාරයට ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂලා සමඟ කුමන්ත්‍රණය කර හොර රහසේ පිටුපස ‍ෙදාරෙන් මහින්ද රාජපක්ෂ කැඳවා අගමැති පුටුවේ වාඩි කළා. ජනාධිපතිවරයා එතැනදී පටන් ගන්න විටම වරද්ද ගත්තා.

මහින්ද රාජපක්ෂ හිතුවේ 2010 තිබුණු එක්සත් ජාතික පක්ෂය තමයි තවමත් තියෙන්නේ කියලා. එදා ඔහුගේ දෑත් ශක්තිමත් කරන්න එජාපයේ අය බිලී බාගත්ත ක්‍රමයට මෙවරත් බිලීබාගන්න හැකිවෙයි කියලා මහින්ද රාජපක්ෂ හිතුවා. ඒ අතරේ පාර්ලිමේන්තු වට රවුමේ තිබූ පොහොට්ටුවේ රැස්වීමට ගොඩවූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා 113 සූදානම් කියලා. ඒ සමඟම හේතුවක් නැතිව කල්දාපු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසුරුවා හරිනවා. මුළු ලෝකෙම මේ දිහා බලාගෙන හිටියා. කවර පක්ෂයක් මේ රටේ බලයට පත්වුණත් මේ දක්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වුණා. එහෙත් මෙවර සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය නිසා ශ්‍රී ලංකාව බහුතරයක් රටවල අපවාදයට ලක්වෙලා.

අධ්‍යාපන සැලසුම් නැවතිලා. ව්‍යවස්ථාවට පටහැනි ලෙස, නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සිදුකළ මෙම කුමන්ත්‍රණය අධිකරණය හරහා මෙන්ම පාර්ලිමේන්තුව තුළත් ජනතා ශක්තිය මඟින් පරාජයට පත් කරනවා. ජනතාවගෙන් ලැබෙන ශක්තිය සියල්ලට වඩා බලවත්.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon