සැප රියකින් මත්කුඩු බෙදූ මහා ජාවාරමෙක් මැද කොළඹදී අත්අඩංගුවට

  👤  2064 readers have read this article !
By mawbima 2018-11-21

ආරියරත්න ගනේගොඩ

සුඛෝපභෝගී ජීප් රථයකින් රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මැදකොළඹ නිව්බසාර් නාගරික ආසනයට අයත් පැරඩයිස් ක්‍රීඩාංගණයේදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දූෂණ මර්දන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ග්‍රෑන්ඩ්පාස් ඩිමෙල් වත්ත ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකි.

කොළඹ වැල්ලවත්ත දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී පැරඩයිස් ක්‍රීඩාංගණය අවට සිටියදී සුඛෝපභෝගී ජීප් රථය ක්‍රීඩාංගණය තුළට සේන්දු වනවාත් සමඟ එය වටකර සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු කෑගැසීමත් සමඟ එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව ඇත. මේ අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බව මේ වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු පිරිසක් 'මව්බිම'ට පැවැසූහ.

ඔත්තුකරුවන් 20කට අධික පිරිසක් මත්කුඩු ජාවාරම්කරු එම ක්‍රීඩාංගණය අවට යොදා තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් සැකකරු වටකිරීමත් සමඟ එම පිරිසද ක්‍රීඩාංගණය තුළට පැමිණි බව පොලිසිය පැවැසීය.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ ඉටි උර දෙකක බහා තිබූ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 79ක් පොලිස් භාරයට ගනු ලැබීය. මාලිගාවත්ත බටහිර නැඟෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සැකකරු මහා පරිමාණයෙන් පාකිස්තානයේ සිට හෙරොයින් ප්‍රවාහනය කර බෙදාහරින බවත්, එම බෙදාහැරීමේ කොන්ත්‍රාත් කේන්ද්‍රස්ථානය ලෙස පැරඩයිස් ක්‍රීඩාංගණය යොදා ගන්නා බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මාලිගාකන්ද නාගරික අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන මත්කුඩු ලැබෙන ආකාරය පිළිබඳ සොයා බැලීමට නියමිත බව පොලිසිය 'මව්බිම'ට පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහකාර පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සමන් ශ්‍රී පද්මලාල්, උප පොලිස් පරීක්‍ෂක කැලුම් සෝමරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon