අපි පාර්ලිමේන්තුවේදී වැරැදි කළේ සාධාරණය වෙනුවෙන්

  👤  2128 readers have read this article !
By mawbima 2018-11-21

දේශපාලනය කියන්නේ අසාධාරණයට හා අයුක්තියට විරුද්ධ වීමයි. මේ සඳහා කොන්දේසි නෑ. මේ සඳහා ඕනෑම අයකුට එක්විය හැකියි. අපි සටන් කරන්නේ අපේ රටේ ජනතාව විජාතිකයන් බවට පත්කිරීම වැළැක්වීමට පමණක් නෙවෙයි. අපේ රටේ අයිතිය සියල්ලම පාවාදීමට අපි විරුද්ධයි. ඒ සඳහා තමයි අපි සියලු දෙනාම මේ සටන් කරමින් ඉන්නේ. එහෙම නැතිව අපිට බේරගන්න කිසිම දෙයක් මෙතැන නෑ. මේ සටන ඉදිරියට යනවා. මේ රටේ ප්‍රගතිශීලී ආණ්ඩුවක් හදනකන් අපේ ගමන අපි නවත්තන්නේ නෑ යැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන් සඳහා පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී අනුර යාපා මහතා මෙසේද කීය.

තමුන්නාන්සේලා මගෙන් ඇහුවා මොකද මේ පාර්ලිමේන්තුවේ ගහගත්තේ කියලා. ඇත්ත ගහගන්න එක හොඳ දෙයක් නෙවේ. නමුත් බැරිම වෙලාවක මොකද කරන්නේ. කථානායක ගැලරියේ සියලුම බටහිර තානාපති කාර්යාලවලින් ඇවිත් ඉන්නවා. ගැලරියේ එජාපයෙන් ගෙනත් දාපු අය ඉන්නවා. යට අපි ඉන්නවා. දැන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගේනවා නම් ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. රවි කරුණානායක මහත්තයට විශ්වාසභංගයක් දීලා අවුරුදු ගාණක් තාම අරගෙන නෑ. රාජිත සේනාරත්න මහත්තයට විශ්වාසභංගයක් දීලා ඒක තාම අරගෙන නෑ.

හැබැයි පාර්ලිමේන්තුව රැස්වුණු වෙලාවේ කඩදාසියක් දික්කෙරුවම ඒ කඩදාසියට ඡන්දේ දෙන්න කියලා කථානායක ලෑස්ති වුණාම අපිට නිකන් උඩ බලන් ඉන්න පුළුවන්ද. අපි වැරැදි කරපු එක ඇත්ත. නමුත් ඒ අසාධාරණේ වෙනුවෙන්. විධායක ජනාධිපති ක්‍රමයක් තාම ලංකාවේ තියෙන්නේ. නාමමාත්‍රික ජනාධිපති ක්‍රමයක් තාම ලංකාවේ නෑ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වුණේ ජනාධිපතිවරයා සතු සමහර බලතල කොමිෂන් සභාවලටත්, සමහර බලතල පාර්ලිමේන්තුවටත් ලබාදීම පමණයි. අනෙක් සියලුම බලතල ජනාධිපතිතුමා සතුයි. පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගේනවා නම් මුලින්ම අගමැති පිළිගන්න ඕන.

ආණ්ඩුව, කථානායකවරයා පිළිගන්න ඕන. පාර්ලිමේන්තුවේ කාරක සභා පිහිටුවන්න ඕන. විශ්වාසභංගය භාරගන්න ඕන. ඒ සඳහා දින 5ක් කල්දෙන්න ඕන. එය න්‍යාය පත්‍රයට දාන්න ඕන. විවාදයට දිනයක් දෙන්න ඕන. විවාදයට දැම්මට පස්සේ ඕනම කෙනෙක්ට ඒ සඳහා පක්ෂව විපක්ෂව ඡන්දය දෙන්න පුළුවන්. එයයි නියම ක්‍රමය. අපි විරුද්ධ කථානායකවරයාගේ දරදඬු, නොහික්මුණු ක්‍රියාමාර්ගවලටයි. මේ කථානායකවරයා අද මෙහෙයවන්නේ විජාතිකයන් විසින්.

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon