යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ තිදෙනාට ඇප

  👤  2000 readers have read this article !
By mawbima 2018-11-21

වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ
මුලතිව් - ශෂී කුමාර්

යාපනය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචේලියන් මහතා ඉලක්ක කර යාපනයේදී වෙඩි තැබීමක් කළ සැකකරුවන් තුන්දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙරේදා (19දා) නියෝග කළේය.

2017 ජූලි මස 22දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් එච්.ජී. හේමචන්ද්‍ර මහතා මියගිය අතර තවත් පොලිස් නිලධාරියකු තුවාල ලැබීය.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනකු යාපනය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළ අතර ඔවුන්ට මේ දක්වාම ඇප නොලැබිණි.

මේ පිළිබඳ නඩු විභාගය පැවැති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට දන්වා සිටියේ මේ විත්තිකරුවන් කාලාන්තරයක් තිස්සේ බන්ධානාගාරගතව සිටින නිසා යම් ඇපයක් මත ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

මේ පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගිින් වූ මුදල් ඇප හා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරියේය.
විත්තිකරුවන් තිදෙනාට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරයා සතියේ සෑම බ්‍රහස්පතින්දාවකම යාපනය මහාධිකරණයට පැමිණ එහි අස්සන් තබන ලෙසද නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon