අගවිනිසුරු නිවෙස ඉදිරිපිට නැවැත්වූ වාහනය ඉවත් කර ගන්නැයි පැවැසූ පොලිස් නිලධාරීන්ට බැන වැදුණු ගණකාධිකාරිවරයා යළිත් රිමාන්ඩ්

  👤  2100 readers have read this article !
By mawbima 2018-11-21

කුමුදු උපුල් ශාන්ත

නුගේගොඩ ජය පාරේ පිහිටි අගවිනිසුරුවරයාගේ නිවෙසට අවහිරයක් වන ආකාරයට නවතා තිබූ මෝටර් රථයක් ඉවත් කර ගන්නා ලෙස උපදෙස් දුන් අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරීන් දෙදෙනකුට එකී නිවෙස ඉදිරිපිට පදිංචි ගණකාධිකාරිවරයකු විසින් බැන වැදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා මිරිහාන පොලිසියට නියෝග කළේය.

තවද එකී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සැකකාර ගණකාධිකාරිවරයා මෙම 28දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙසත් සැකකාර ගණකාධිකාරිවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මිරිහාන පොලිසිය අධිකරණයට දැන්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

ඉහත කී සිද්ධිය පසුගිය මාසයේ දිනක රාත්‍රි 10ට පමණ නුගේගොඩ ජයවත්ත පාරේ පිහිටි අගවිනිසුරුවරයාගේ නිවෙස ඉදිරිපිට සිදුව ඇති බවද අගවිනිසුරුවරයා අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලය අතරතුරදීද මෙකී සැකකාර පුද්ගලයා එවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැසිරී ඇති බවද ඒ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාට එරෙහිව මේ වන විට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බවද පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් ප්‍රසන්න (56958) මහතා අධිකරණයට දැන්වීය.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon