අකිලගේ පුරප්පාඩුවට නිශාන් පීරිස් කැඳවයි

  👤  2054 readers have read this article !
By mawbima 2018-11-21

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කොළඹ එස්.සී.සී. පිටියේදී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා අකිල ධනංජය සහභාගි නොවන බැවින් ඔහු වෙනුවට වමත් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන නිශාන් පීරීස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

දෙරට අතර පසුගියදා ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව අයි.සී.සී.යේ සැකයකට භාජන වී තිබූ අකිල ධනංජය තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණයක් සඳහා ඊයේ (20දා) ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර බලා පිටත්ව ගිය අතර, එම පරීක්‍ෂණය 23දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කොළඹ එස්.සී.සී. පිටියේදී පැවැත්වෙන තෙවැනි තරගය අකිල ධනංජයට මඟ හැරී යන අතර, මේ හේතුවෙන් ඔහු වෙනුවට නිශාන් පීරිස් නම් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සමඟ පසුගිය අගෝස්තු මාසයේදී පැවැති නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා නිශාන් පීරිස්ට මෙම කැඳවීම සඳහා බෙහෙවින්ම උපකාර වී තිබේ. තවමත් ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කර නොමැති අවුරුදු 21ක් වයසැති නිශාන් පීරිස් මේ වනවිට පළමු පෙළ තරග 12කට සහභාගි වී ලකුණු 1122කට කඩුලු 38ක් ලබා ඇත.
මේ අතර එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්

ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී හයේ පහරක් එල්ල කිරීමට යෑමේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද දැනගන්නට ඇත. තවද මෙම ආබාධ තත්ත්වය නිසා පසුගියදා පැවැති එංගලන්ත කණ්ඩායමේ පුහුණු සැසියටද කරන් සහභාගි වී නොමැති අතර තුන්වැනි ටෙස්ට් තරගයේදී කරන්ගේ ස්ථානය සඳහා ජොනී බෙයාර්ස්ටෝ නම් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon