විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයත් අවසන් පූර්ව වටයට

  👤  1986 readers have read this article !
By mawbima 2018-11-21

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී මේ දිනවල පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළ එංගලන්ත කාන්තා කණ්ඩායම එම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිත අතර පළමු අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟින් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරග වැදීමට නියමිතය.

මේ අතර මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස පසුගියදා පැවැති දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් විය.

සාන්ත ලුසියාහි ඩැරන් සමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසිය වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වූහ. මැරිසේන් කැප් ලකුණු 25ක් සහ ලයිසෙල් ලී ලකුණු 21ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී සල්මා කතූන් කඩුලු 3ක් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75ක් පමණි. එහිදී රුමානා අහමඩ් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී මොසෙලිනී ඩැනියෙල්ස්, ඩේනි වැන් නිකර්ක්, සූනි ලූස්, මැසබාටා ක්ලාස් සහ ටුමී ස්පෙන්ඩෙලි එක් කඩුල්ල බැගින් බිඳහෙලීය. මැරිසේන් කැප් තරගයේ වීරවරිය ලෙසින් සම්මාන දිනා ගත්තාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon