ඉදිරි මාස කිහිපය ඉතාම තීරණාත්මකයි -එ.ජා.ප. ජාතික සංවිධායක නවීන් දිසානායක

  👤  2053 readers have read this article !
By mawbima 2018-11-21

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්‍ෂයක් ලෙස මේ මොහොතේ විවිධ මතසේද අමතක කරමින් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා වටා සියලුම එ.ජා.ප. නායකයන් පෙළ ගැසීම සතුටට කරුණක්. ඒ වාගේම පක්‍ෂයේ දෙවැනි පෙළ ශක්තිමත් කරන්න නායකතුමා කටයුතු කරලා තියෙනවා. තුන්වැනි පෙළ ද ශක්තිමත්. ලංකාවේ දේශපාලන පක්‍ෂ අතර විවිධ මට්ටමේ නායකත්ව පරපුරක් ගොඩනඟලා තියෙන එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව මම නොබියව ප්‍රකාශ කරනවා. ඒ අනුව පක්‍ෂය තුළ කිසිදු බෙදීමක් නොතිබීම සතුටට කරුණක් මෙන්ම ඉදිරි මැතිවරණ සඳහා සාර්ථකව මුහුණ දෙන්න එය විශාල ජවයක් බවත් ප්‍රකාශ කරනවා.

ඔක්තෝබර් 26 වැනිදා ජනාචධිපති සිරිසේන හොර රහසේ මහින්ද රාජපක්‍ෂ අගමැති විදිහට පත් කළා. එය ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින්ම පටහැනි නින්දිත ක්‍රියාවක්. මුළු රටම මවිතයට පත් කරමින් හැට දෙලක්‍ෂයක ඡන්ද දායකයන්ගේ අභිලාෂයන් එක මොහොතින් ජනාධිපති පාවාදී තියෙනවා. ඒ අනුව 2015 ජනවාරි 08 දින අප පැතූ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න දූෂණයෙන් තොර යහපාලන රටක් නිර්මාණය කිරීමේ වැඩසටහනට සිරිසේන ජනපති පයින් ගසා දමා ජනතාව ප්‍රතික්‍ෂේප කළ මහින්ද රාජපක්‍ෂව අගමැති ලෙස නම් කළා. සිදුවීම් දාමය දෙස හැරී බලන විට පෙනී යන්නේ මේ සියල්ල ජනපතිවරයා මාස හතරක පහක සිට කරන ලද කුමන්ත්‍රණකාරී පිඹුරුපත් සැකසීමක උච්චතම අවස්ථාව 26 වැනිදා එළියට දැම්ම බවයි.

ඇත්තටම ජනපතිම කිව්වා අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් අගමැතිකම භාරගන්න කියලා ආරාධනා කළ බව. එයින් පැහැදිලි වෙනවා 26දා සිදුවීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමින් ඉවත් කරන්න දිගු කාලීනව කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් කියන එක. අනතුරුව ප්‍රතික්‍ෂේපිත මහින්ද නැවත කැඳවනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටින මොහොතක නව අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථානුකූලව විශාල වරදක්. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඉතා පැහැදිලිව තියෙනවා අග්‍රාමාත්‍යවරයකු ඉවත් කරන ක්‍රමවේදය. නමුත් 26දා ඒ ක්‍රමවේද සියල්ලන්ගෙන්ම බැහැරව සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීති විශාරදයන් එක හෙළා කියා සිටිනවා.

ඉහත පසුබිම තුළ අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් බවට පත් කරගෙන මේ රටේ දහස් ගණන් ජනතාව තවමත් එය ආරක්‍ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රැඳී සිටීම පිළිබඳව මම පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද මුදලට මන්ත්‍රිවරුන් මිලදී ගැනීමට පෙලඹුණේ එල්ල වුණු පීඩනය ඉතාමත් උත්සන්න වීම තුළයි. එක් මන්ත්‍රිවරයකු රුපියල් කෝටි 30ක් තරම් මුදලකට මිලදී ගන්න වැය කරන්නේ කාගේ සල්ලිද? කොහෙන්ද? මේ සල්ලි එන්නේ. ඒ පිළිබඳව අපි මෛත්‍රිගෙන් හා මහින්දගෙන් අහන්න කැමැතියි. කෙසේ නමුත් මුදලට මන්ත්‍රිවරුන් බිලිබා බහුතරය හොයපු උපාය මාර්ගය ද විවිධ මාධ්‍ය ඔස්සේ ඩීල් ගැන දිග හැරුණු තොරතුරු නිසා හකුළා ගැනීමට සිදුවුණා. අනතුරුව විළිලැජ්ජාව වසා ගන්න නැවත ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ඒ හරහා ජනතා පරමාධිපත්‍ය දඩයම් කිරීමට මෛත්‍රි-මහින්ද කටයුතු කළා.

මේ වන විට රට තුළ දේශපාලනික අස්ථාවරභාවයක් තියෙනවා. දේශපාලනික අස්ථාවරභාවය නිතැතින්ම ඇති වෙනවා. මම හිටපු සංචාරක අමාත්‍යවරයෙක් විදිහට දකින දෙයක් තමයි මේ වන විට සංචාරක කර්මාන්තය විශාල බිඳවැටීමකට ලක් වෙනවා.

මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රුපියල් බිලියන 119ක් අලුතෙන් මුදල් අච්චු ගහලා. නිෂ්පාදනය හා සේවා අංශය වර්ධනය නොවී මුදල් අච්චු ගැසීම තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. අපි ගම්පෙරළිය වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන ගිය වැඩසටහන මේ වන විට නවත්වලා. ඒ වෙනුවට ජනතාවට කෙටිකාලීන විවිධ සහන දීලා සිය ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් කර ගන්න ගම්පෙරළිය මුදල් යෙදවීමට මේ වන විට මහින්ද රාජපක්‍ෂ කටයුතු කරගෙන යනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කාලයේ ලබාගත් ණය වෙනුවෙන් ලබන වසරේ ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියනයක් ගෙවන්න ඕනේ. ඒ අනුව ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ මඟපෙන්වීම මත විශාල වැඩ කොටසක් ඉටු කරමින් පැවැති අවස්ථාවක මෛත්‍රි - මහින්ද රටම අස්ථාවර කිරීම සමස්ත ජාතියේම අභාග්‍යයක්.

මම වගකීමෙන් කියනවා ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකු අගමැති රාජපක්‍ෂට සුබපැතුම් එකතු කරලා නැති බව. අද වෙනකොට ලෝක ඉතිහාසයේ පාර්ලිමේන්තු නොගිය එකම අගමැතිවීමේ ගිනස් වාර්තාව ද මහින්ද රාජපක්‍ෂ තියලා තියෙනවා. ඒ වාර්තාව තියන්න මෛත්‍රි තමයි කමාන්ඩ් එක දුන්නේ. අනිත් අතින් පාර්ලිමේන්තුව කල් තියලා සිරිසේන ජනපතිම මහින්දට පාර්ලිමේන්තු යෑමේ වැට අහුරනු ලැබුවා. මේ ක්‍රියාවලිය හරහා ප්‍රජාතන්ත්‍රවාදය නැවත නැවතත් හෑල්ලුවට ලක් කිරීමේ ක්‍රියාදාමය මෛත්‍රි දිගින් දිගටම කරගෙන යනවා. අපි නිදහස් මතධාරීන් ලෙස මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අවුරා දැමීමට කළ හැකි හැම දෙයක්ම කරනවා. අපි පක්‍ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ශක්තිමත් කිරීමට සූදානම්. ඒ අනුව ඉදිරි මාස තුන හතර කාලය ඉතාම තීරණාත්මක වන බැවින් නිදහස් මතධාරීන් ලෙස අපි සියලු දෙනාම එක්ව මේ රටේ ප්‍රජාතන්තවාදය ස්ථාපිත කිරීමේ ගමන ශක්තිමත් කරමු කියන ඉල්ලීම මම පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්‍ෂ නායකයන් මහින්ද අගමැති ලෙස පිළිගන්නේ නෑ. ඒ නිසා පුළුල් පොදු බලවේගයක් ගොඩනඟලා මෛත්‍රි - මහින්දගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නවත්වන්න පක්‍ෂයක් ලෙස අපි නායකත්වය ගන්නවා. තරුණ ඡන්ද දායකයන් ලක්‍ෂ 17ක් ඉදිරි මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාගෙන තියෙනවා. ඒ තරුණයන්ට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ගේ පළමු ඡන්දය භාවිත කරන්න. ඒ තරුණයන්ට මම ආරාධනා කරනවා රට වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බලවේගය සමඟ එකතු වන්න කියලා.

සටහන - ලක්‍ෂ්මි ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon