බලය උදෙසා මේ නායකයන් රටම රවටන බව අපි අත්දැකීමෙන් දන්නවා

  👤  2379 readers have read this article !
By mawbima 2018-12-07

ප්ලොට් සංවිධානය අතීතයේ සිට ලබා ඇති දේශපාලන අත්දැකීම්වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහිවත් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහිවත් කිසිදු විශ්වාසයක් නොතබන බව ප්ලොට් සංවිධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යළිත් වරක් අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුනොවුන්ගේ බලය සඳහා අනෙක් සියලු දෙනාම රවටන බව ප්ලොට් සංවිධානය විසින් තේරුම් ගෙන ඇත්තේ මීට වසර හතළිහකට ඉහත සිට බවත් පැවැසූ සිද්ධාර්ථන් මහතා පසුගිය 4 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දිනවල කටයුතු කරන ආකාරය දෙස බලන විට ඔහුගෙන්ද මහින්දට, රනිල්ට වඩා වෙනසක් දැකිය නොහැකියි.

උතුරේ පවත්නා දේශපාලන රාමුවට අනුව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් හැටියට ප්ලොට් සංවිධානය කටයුතු කරන නිසා එම මවු පක්ෂය ගන්නා තීන්දු තීරණවලට එකඟ වීමට සිදුවෙනවා මිස ඒ තීරණ ප්ලොට් සංවිධානයේ තීන්දු තීරණ නොවේ.

ප්ලොට් සංවිධානය නියෝජනය කරන මම මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම පිණිස යන බවට මුළු උතුරු ප්‍රදේශයේම රාවයක්ව පැතිර ගියත් මම හෝ ප්ලොට් සංවිධානය දකුණේ සිංහල බෞද්ධ දේශපාලනඥයන් සමඟ කිසිදු සම්මුතියකට එළැඹීමක් සිදු වන්නේ නෑ.

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවට එහි නායකයන් තීරණය කෙළේ ප්‍රජාතන්ත්‍රවාදී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බොහෝ දේ සිදු වූ නිසා. ප්ලොට් නායකයා හෝ මේ සංවිධානය ගරු කරන්නේ දෙමළ ජාතික සන්ධානයට මිස මහින්ද රාජපක්ෂ මහතාටවත්, රනිල් වික්‍රමසිංහ මහතාටවත් නොවේ.

දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාව ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක්. බහුතරයක් සිටින පිරිසකට අගමැති ධුරය ලබා නොදීම නිසයි මේ ගැටලුව දිනෙන් දින ඉහළ යන්නේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ දෙමළ ඡන්දවලින් බලයට පත්වූ අයකු බව මුළු ලෝකයම දන්නවා. නමුත් ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දුන්නේ නැහැ. එදා සරත් ෆොන්සේකා මහතාටද දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කෙළේ දෙමළ ජනතාවට ඔහුගෙන් කිසිවක් නොලැබෙන බව ඉතා හොඳින්ම දැනගෙනය.

නමුත් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලනඥයන් රවටමින් රටේ බලය ලබාගන්නා පිරිසට දෙමළ ජනතාව හා දේශපාලනඥයන් කත් ඇදීම මිස ඉන් එහා යමක් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon