අතුරු තහනම් නියෝගයට මුවා වී එජාපය ජනතාව නොමඟ යවනවා

  👤  2253 readers have read this article !
By mawbima 2018-12-07

ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය තමන්ගේ වාසියට ආරූඪ කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ජනතාව නොමඟ යවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

කොළඹ 07 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊයේ (05දා) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රඹුක්වැල්ල මහතා එසේ කීය.

මේ අතර රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ව පාර්ලිමේන්තුවට කැඳවා එම මාධ්‍ය ප්‍රධානීන්ට තර්ජනය කිරීමට ක්‍රියා කිරීම නීති විරෝධී කටයුත්තක් යැයි ද ඒ මහතා එහිදී පැවසීය.

ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තු සැසිවාර පවත්වන බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඊට සහභාගි නොවන බවත් මෙම සැසිවාර සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනි බවද රඹුක්වැල්ල මහතා කීය.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා කියා සිටියේ ආණ්ඩුවක් නැතිනම් විපක්ෂයක්ද නැති බවයි.

ස්ථාවර නියෝගවලට පටහැනිව පාර්ලිමේන්තුව රැස්කර ඔවුන්ට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව හසුරවමින් විහිළු සපයන තැනක් බවට උත්තරීතර පාර්ලිමේන්තුව පත්කර කථානායක විහිළු සපයන තැනට පත්ව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව පෙරේදා (05දා) රැස්කර ජනාධිපතිවරයාට අපහාස කරමින් මන්ත්‍රිවරුන්ට කතා කරන්න ඉඩදී තිබූ බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මේ වනවිට රටේ ජනාධිපති යැයි සිතා කටයුතු කරන කථානායක කරු ජයසූරිය රජයේ මාධ්‍ය ප්‍රධානීන් කැඳවා ඔවුන්ට තර්ජනය කිරීමට පටන්ගෙන ඇතැයිද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරු කැඳවා උපදෙස් දීමට නොහැකි බව කියන එජාප ගිරා පෝතකයන් කථානායකට එම බලතල දීමේ විහිළුවක නිරතව සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා කියා සිටියේය.

යහපාලනය ඇති කිරීමට ක්‍රියාකළ දඹර අමිල ඇතුළු අය "ලිට්රෝ" නමැති අලුත් නිකායක් හරහා ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා මසකට රුපියල් 95,000 බැගින් වැටුප් ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය. හෙට අනිද්දාට බැඳුම්කරයට සම්බන්ධ හෙළි නොකළ පිටු 105 එළියට ආ පසු බොහෝ දෙනාගේ රෙදි ගැලවෙනු ඇතැයිද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා තවදුරටත් පැවසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි

ජානක වක්කුඹුර මහතා කියා සිටියේ රනිල් අගමැතිකම ඉල්ලුවාට මහින්ද ඉල්ලන්නේ මහ මැතිවරණයක් බවයි.

මේ අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම මැතිවරණයක් බැවින් පාර්ලිමේන්තුව රැස්කර තුනෙන් දෙකක කැමැත්ත ලබාගෙන හෝ එම තීරණය ගැනීම වැදගත් බවද වක්කුඹුර මහතා එහිදී පැවසීය.

ශිරාන් රණසිංහ

ඡායරූපය - කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon