කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ලාන්ස් කෝප්‍රල් රිමාන්ඩ්

  👤  2350 readers have read this article !
By mawbima 2018-12-07

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල පොලිස් කොට්ඨාස කාර්යාලයට අනුයුක්ත පොලිස් කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට ගිය මේජර්වරයකු ලෙස පෙනී සිටි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ඊයේ (6දා) කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කුරුණෑගල, වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි, බටලන්ද යුද හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල් හෙට්ටි කංකානමලාගේ (01202) චන්ද්‍රදේව කුමාරවංශ නමැති 45 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ලාන්ස් කෝප්‍රල්වරයා මීට මසකට පමණ ඉහතදී එක් අවස්ථාවකදී තමා මේජර්වරයෙක් යැයි පවසා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා හමු වී පිටව ගොස් ඇත. තවත් අවස්ථා ගණනාවකදී සිවිල් ඇඳුමින් සැරසී කෑගල්ල පොලිස් කොට්ඨාස භූමියේ සැරිසරා ඇති බවද අනාවරණය වේ.

පෙරේදා (5දා) මේ පුද්ගලයා කෑගල්ල කොට්ඨාස පොලිස් භූමියට යතුරුපැදියකින් පැමිණ එහි කාර්යාලයක සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ අතින් අල්ලා බලහත්කාරයෙන් ඇද ගෙන යෑමට තැත් කළ ඇති බවත් පසුව ඇය අත ගසා කාර්යාලයෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ. මේ පුද්ගලයා යතුරුපැදියෙන් කෑගල්ල නගරයට ගිය අවස්ථාවේදී පොලිසියට සැක සිතී මොහු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පලා යෑමට උත්සාහ දරා ඇති අතර පසුව නගරවාසීන් මොහු පොලිසියට අල්ලා දී ඇත.

මෙම පුද්ගලයා මීට වසර 04කට පමණ ඉහතදී දැනට කෑගල්ල පොලිස් කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් ද ඇති කරගෙන ඇති බවද අනාවරණය වේ. පසුව මෙම පුද්ගලයා විවාහකයකු බව දැන ගැනීමෙන් පසු කොස්තාපල්වරිය ඔහුගෙන් අෑත් වීමට කටයුතු කර ඇති බවද දැන ගන්නට ලැබී ඇත.

පෙරේදා (5දා) අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර එක් අවස්ථාවකදී යුද හමුදා මේජර් නිල ඇඳුමින් සැරසී කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මුණ ගැසී ඇති අතර ව්‍යාජ යුද හමුදා මේජර් ඇඳුම පැලඳගෙන පැමිණියේ හමුදා නිල ඇඳුමට තිබෙන ගෞරවය හා ආදරය නිසා බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම සැකකරු බලහත්කාරයෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල අබේරත්න මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් සැරයන් බණ්ඩාර (3022) සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon