පිහි පහර 63ක් එල්ල කර කතකගේ ගෙල කපලා

  👤  2277 readers have read this article !
By mawbima 2018-12-07

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි, මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරළ

හුණුමුල්ල කැලෑපිටිමුල්ලේ නිවෙසකට පසුගිය 4 වැනිදා දහවල් ඇතුළු වී හතළිස් දෙහැවිරිදි කාන්තාවකගේ ගෙල කපා සිරුරට පිහි පහර 63ක් එල්ල කරා මරා දැමුණු බව කියන 35 හැවිරිදි දෙදරු පියකු ඊයේ (6දා) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

මෙසේ මරා දමා තිබුණේ දෙවසරකට පෙර විවාහයට පත් 42 හැවිරිදි වඩුගේ දුලීකා සංජීවනී ලිවේරා නමැත්තියයි.
පසුගිය 4 වැනිදා උදේ දහයට පමණ මියගිය තැනැත්තියගේ සැමියා නිවෙසෙන් පිටව ගොස් දහවල් 1.45ට පමණ නිවෙසට පැමිණි අවස්ථාවේ නිදන කාමරයේ උඩුබැලි අන්දමින් වැටී සිටි බිරියගේ සිරුර දැක ගන්නට ලැබී තිබිණි.

දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.එම්.එන්. ජයපත්ම මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අතර ඇගේ ගෙල ඇතුළු සිරුරේ විවිධ ස්ථානයන්හි කැපුම් සලකුණු දක්නට ලැබී ඇත.

මෙම මරණය පිළිබඳ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (5දා) දහවල් මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදී පවැත්වනු ලැබීය. අනතුරුව දේහය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ පරීක්ෂාවට ලක්කර මරණයට හේතුව ලබා ගැනීමට උපදෙස් ලැබිණි.

ඒ අනුව මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේදී මරණකාරියගේ සිරුරේ කැපුම් තුවාල 63ක් ඇති බව අනාවරණය විය. ඉන් 44ක් බරපතළ තත්ත්වයේ වූ අතර ගෙලෙහි සිදුවූ කැපුම් තුවාලය ඇතුළු තුවාල නිසා සිදුවූ ලේ වහනය සහ කම්පනය නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර ඇත. ඊට අමතරව මිය යන්නට පෙර ඇය අතවරයකට ගොදුරු වී ඇති බවද එහිදී හෙළි වී ඇත. අතවරය වී ඇත්තේ ඇගේ කැමැත්තෙන් තොරව බවද නිගමනය කර තිබිණි.

පොලිස් නිලධාරීන් පිරිස ඊයේ (6දා) මියගිය අයගේ නිවෙස ආසන්නයේම වෙසෙන 35 හැවිරිදි දෙදරු පියකු දුලීකාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

දුලීකාට තුවාල කළ පිහිය මෙන්ම සැකකරු ඇඳ සිටි ඇඳුම් ආදියද සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත. සැකකරු වසර හතක් පමණ තිස්සේ විදේශගතව සිටිමින් රැකියාවක නිරත වූවකු බවද වසරකට පමණ වරක් මෙරටට පැමිණ ඇති බවද අනාවරණය වී ඇත. ඔහුගේ දරුවන් නව හැවිරිදි හා සිවු හැවිරිදි වියේ පසුවන බවද හෙළිවී ඇත.

සිද්ධිය වූ දින රාත්‍රි සැකකරු බිරිය හා දරුවන් දෙදෙනා සමඟ නූඩ්ල්ස් ආහාරයට ගනිමින් සිටි අවස්ථාවේදී වැඩිමල් දරුවා පියාගෙන් නිවෙස අසල මරණයක් සිදුවී ඇති සිද්ධිය ගැන විමසීමේදී ඔහු වික්ෂිප්ත වූ බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

දුලීකාගේ සැමියා නිවෙසින් පිටව යනු බලා සිටි සැකකරු දුලීකා සමඟ පැවැති පැරණි අමනාපයක් නිසා ඇගෙන් පළිගන්නට නිවෙසට ගිය අවස්ථාවේ මේ සිදුවීම වූ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇතත් එය සත්‍යයක්දැයි අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

සිද්ධිය වූ දින උදේ මරණකාරියගේ සැමියාද නිවෙසේ සිටින අවස්ථාවේ සැකකරු මෙම නිවෙසට ගොස් දුරකථන අංකයක් ඉල්ලාගෙන පැමිණ ඇති බවද අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු ඊයේ (6දා) සවස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතාගේ උපදෙස් හා දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.එම්.එන්. ජයපත්ම මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක, උප පොලිස් පරීක්ෂකවරුන් වන උමේෂ්, දිනේෂ්, කොස්තාපල්වරුන් වන ජයසේන (14442), සංජීව (33313), දුලාන් (33311), රත්නායක (37945), නෙරංජන් (46715) හා තරංග (89512) ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon