සේවා ස්ථානයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුම භයානක තත්ත්වයක්

  👤  2154 readers have read this article !
By mawbima 2018-12-07

ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතර පෙරේදා (05දා) සිදුවූ බව කියන පහරදීම්වලදී වෛද්‍ය තේජා ජයසේකර මහතාගේ දතක් කැඩෙන්න පහරදී ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවත් සේවා ස්ථානයකදී එසේ පහර දීම භයානක තත්ත්වයක් බවත් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා ඊයේ දහවල් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත් වී තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපිට රාජකාරි සිදු කිරීමට ඉතාමත් අපහසුයි. ඒ නිසා අපි ලිපියක් මඟින් රෝහල් අධ්‍යක්‍ෂවරයා දැනුවත් කළා, එම කරුණු ගැන 07දා උදෑසන 8.00 වන විට ප්‍රතිචාරයක් නැතිනම් අපිට වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදු වෙනවා.

අපේ ඉල්ලීම් වුණේ පහරදුන් වෛද්‍යවරයාට සේවය අවසන් වනතුරු එකම ස්ථානයක සිටීම සඳහා ලබාදී ඇති තනතුරු ඉවත් කිරීම, ප්‍රශ්නගත සිද්ධියට අදාළ රථ ගාල සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීම, පහරදුන් වෛද්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ එම වෛද්‍යවරයාට එරෙහිව ආයතනික විනය පරීක්‍ෂණයක් සිදුකිරීම යන කාරණා ඉටුකරන ලෙස අපි අධ්‍යක්‍ෂවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තියෙනවා. එසේම මෙවන් තත්ත්වයක් සිදුවීම සම්බන්ධයෙන් අපි ඉතාම කනගාටු වෙනවා.

අප මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මට ලිපියක් ඉදිරිපත් කර තියෙනවා. ඒකේ කාරණා 04ක් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මම දැනටමත් ගාල්ල කරාපිටිය පොලිසිය දැනුවත් කර තිබෙනවා මෙම රථගාල සඳහා ආරක්‍ෂාව ලබා දෙන ලෙස. ඒ වගේම පොලිසිය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණත් ආරම්භ කර තියෙනවා. අමාත්‍යාංශ පරීක්‍ෂණයත් සිදුවේවි.

නමුත් සේවය අවසන් වන තුරු ලබාදුන් තනතුරු වෙනස් කිරීමට මට හැකියවක් නෑ. ඒක ලොකු කටයුත්තක්. ඒ සඳහා මට තීරණයක් දෙන්න බෑ. කෙසේ නමුත් මම හිතන්නේ නෑ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යා යුතුයි කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon