ජංගම දුරකථනය කකුල් දෙක අස්සේ හංගන් සා.පෙළ ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා

  👤  2185 readers have read this article !
By mawbima 2018-12-07

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් කකුල් දෙකේ සිරකරගෙන එයට ලැබෙන කෙටි පණිවුඩ මඟින් පිළිතුරු සපයමින් සිටි බළන්ගොඩ ප්‍රදේශයේ බාහිර අයැදුම්කරුවෙක් සම්බන්ධයෙන් ඊයේ (06දා) පැමිණිල්ලක් ලැබුණු බව බළන්ගොඩ පොලිසිය පවසයි.

එම සාමාන්‍ය පෙළ අයැදුම්කරු බළන්ගොඩ පොලිසිය වෙත රැගෙන ගොස් තිබූ අතර ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පැවැසීය.

මේ අයැදුම්කරුට කෙටි පණිවුඩ මඟින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු එම ජංගම දුරකථනයට පිළිතුරු එවා ඇති බවට අනාවරණය වී ඇති බැවින් එම ගුරුවරයා සම්බන්ධයෙන් මෙම අයැදුම්කරුගෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කරමින් පවතී.

බළන්ගොඩ ජෙයිලාන විදුහලේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි බාහිර අයැදුම්කරුවකු මෙලෙස ජංගම දුරකථනයක් ළඟ තබා ගනිමින් ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියමින් සිටි බවට බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

මෙම අයැදුම්කරු ඊයේ (06දා) පැවැති ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රය සඳහා ශාලා අංක 3හි පිළිතුරු ලියන අවස්ථාවේදී එම විභාග මධ්‍යස්ථානයේ විභාග නිරීක්ෂණ සඳහා සිටින නිලධාරීන්ට ඔහුගේ හැසිරීම පිළිබඳ සැකයක් මතු වී මේ සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට දන්වා ඇති බව පොලිසිය සඳහන් කළේය. එම අවස්ථාවේදී ශාලාධිපති විසින් සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි අයැදුම්කරු විසින් කකුල් දෙකේ ජංගම දුරකථනයක් සිරකරගෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය දැක තිබේ. මේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ මඟින් ඉංගී්‍රසි ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ලැබී ඇති අයුරු මෙහිදී විභාග ශාලාධිපති විසින් හඳුනාගෙන තිබේ.

මේ අයැදුම්කරු විභාග ආරම්භයට විනාඩි විස්සකට පසුව විභාග ශාලාවට පැමිණ තිබේ. විභාග ශාලාවට ඇතුළු වන අවස්ථාවේදී ජංගම දුරකථනයක් සඟවාගෙන විභාග ශාලාවට ඇතුළු වී ඇත. මෙසේ ජංගම දුරකථනයක් ළඟ තබාගෙන ඉංගී්‍රසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටි සිසුවා සම්බන්ධයෙන් වහාම විභාග ශාලාධිපතිවරයා බළන්ගොඩ කලාප අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත. ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර විභාග අංශයේ අධ්‍යක්ෂවරිය මේ සම්බන්ධව බළන්ගොඩ පොලිසිය වෙත ඊයේ (06දා) පෙරවරුවේ පැමිණිලි කර තිබේ. පසුව බළන්ගොඩ පොලිසිය එම විදුහලට ගොස් සැකකාර අයැදුම්කරු පරීක්ෂණ කටයුතු සඳහා බළන්ගොඩ පොලිසිය වෙත කැඳවාගෙන ගොස් ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ බාහිර උපකාරක පන්ති පවත්වන බලන්ගොඩ ප්‍රදේශයේම ගුරුවරයකු විසින් මෙලෙස මේ විභාග අයැදුම්කරුට ජංගම දුරකථනය මඟින් කෙටි පණිවුඩ ඔස්සේ පිළිතුරු එවා ඇති බවයි. එම උපකාරක පන්ති පවත්වන ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ධර්මරත්න මහතා විසින් පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon