අශෝක් අබේසිංහගේ නිවෙසට පහරදීම අසත්‍යයක්

  👤  2157 readers have read this article !
By mawbima 2018-12-07

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටින අශෝක් අබේසිංහ හිටපු ඇමැතිවරයා තම නිරුවත වසා ගැනීමට මා ඇතුළු පිරිසක් ඔහුගේ නිවෙසට පහරදුන් බවට කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවට සියලු සාධක සහිතව ඔප්පු කිරීමට තමා සූදානම් බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පැවැසීය.

පසුගිය දිනක සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ මල්කඩුවාව ප්‍රදේශයේ පිහිටි නිවෙසට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. මෙම ප්‍රහාරය මා ඇතුළු පිරිසක් විසින් සිදුකළ බවට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිය වන කුරුණෑගල නගර සභා නාගරික මන්ත්‍රිනි විශාකා අබේසිංහ මහත්මිය විසින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනාවට පිළිතුරු දීම සඳහා ඊයේ (6දා) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී සිද්ධිය සිදුවූ දින කොළඹ ප්‍රදේශයට ගිය බවත් කුරුණෑගල නොසිටි බවත් මාධ්‍යයට සීසීටීවී දර්ශන පෙන්වමින් ඔහු ප්‍රකාශ කළේය.

සිද්ධිය පිළිබඳ තවදුරටත් කතා කළ නගරාධිපතිවරයා
කලින් කිව්වා වගේ එතුමාගේ දේශපාලන නිරුවත, දේශපාලන බංකොලොත් භාවය වසාගන්න තමයි මනෝ ලෝකෙක ඉන්න අශෝක් අබේසිංහ කැබිනට් අමාත්‍ය ධුරයක් වෙනුවෙන් මාව පාවිච්චි කළේ. මම කියනවා හිටපු අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ඔබතුමා ඔය දකින්නේ දවල් හීන. ඕවා සැබෑ වන හීන නම් නෙවෙයි.

මම ඊයේ දැනගත්තා අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය තවම මට කැඳවීමක් නම් කරලා නැහැ. අධිකරණය කෙරෙහි මට විශාල ගරුත්වයක් තියෙනවා. අද මම ඔබතුමන්ලා හැමෝම ගෙනල්ලා මගේ නිවැරැදි භාවය ඔප්පු කරලා මේක සමාජගත කරනවා රටට ලෝකයට දැනගන්න. මම එදා අශෝක් අබේසිංහගේ නිරුවත හෙළිකරනවා කියපු අභියෝගයෙන් මම අද ජය ගත්තා.

මම බොහොම කෙළින් වැඩ කරන මිනිහෙක්. දේශපාලන තීන්දු හරියටම ගන්න කෙනෙක්. මම කරපු දේ නොකියා ඉන්න බය කෙනෙක් නෙවේ. මම අද අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයාට අභියෝග කරනවා මම මේ අභියෝගය ජය ගත්තා වගේ පුළුවන් නම් ඔබතුමාගේ නිවෙසේ තිබෙන සීසීටීවී කැමරාවල කුරුණෑගල නගර සභාවේ නගරාධිපති වන මම ඉන්නවා නම් ඒක ප්‍රදර්ශනය කරන්න. එහෙම නැත්නම් මම වගකීමෙන් කියනවා මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව ඒ මඩ දේශපාලනය, තුන්වැනි පන්තියේ දේශපාලනය නොකර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වෙන්න ඕනේ. එතකොට තමයි පිරිමිකම කියන එක ලෝකෙට ඔප්පු කරන්න වෙන්නේ.
"මව්බිම" පත්‍රයේ දාලා තියෙනවා එජාප කුරුණෑගල මන්ත්‍රි අශෝක් අබේසිංහගේ නිවෙසට මැර ප්‍රහාරයක් කියලා. මැද පිටුවල විස්තරයක් තියෙනවා. ඒකේ තියෙනවා මම කෙළින්ම සම්බන්ධ වෙලා ඇවිල්ලා තමයි මෙම මැර ප්‍රහාරය කළේ කියලා. ඔහු සතුව සීසීටීවී දර්ශන තිබුණා කියලත් තිබුණා.

කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පක්ෂග්‍රාහීවයි කටයුතු කරන්නේ. අශෝක් අබේසිංහ වෙනුවෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කඩේ යනවා. කවුද නියෝග දුන්නේ කියලා මම දන්නේ නැහැ. මහෙස්ත්‍රාත්තුමා නියෝගයක් එවලා තියෙනවා සියලුම දේශපාලනඥයන්ගේ කටවුට් ඉවත් කරන්න කියලා. මේකට අපි පැමිණිල්ලක් කළා. අතිගරු ජනාධිපතිතුමාගේ කටවුට් තමයි ඉවත් කළේ. රටේ නායකයා හැටියට අතිගරු ජනාධිපතිවරයාගේ කටවුට් ඉවත් කරපු පැමිණිල්ල අපේ අරුණි මහේෂිකා මන්ත්‍රිතුමිය තමයි ගොනු කළේ. මේ වෙනකම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් නැහැ.

කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය ගොළුවෙලා ඉන්නවා අද. එම නිසා මම හිතනවා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරයි කියලා. සැකකරුවන් හඳුනාගත්තා. නම් ගම් එක්ක කියලා තියෙනවා. අපිට ඒ සීසීටීවී දර්ශනත් ඉදිරි කාලයේ ලබාදෙන්න පුළුවන්.

හැබැයි අපිට පොලිසියේ සහාය ඕනේ. මම ඉල්ලීමක් කළා ස්ථානාධිපතිවරයාගෙන්. අපරාධ අංශයේ ඔබතුමා සහයෝගය දෙන්න. මෙන්න මේ ස්ථානවල සීසීටීවී කැමරා තියෙනවා. ඒවායින් බලා ගන්න පුළුවන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්.

අපේ පැමිණිල්ල ගොළු වෙන්නත්, නිරපරාදේ මට එල්ල කරපු චෝදනාවට මේ වෙද්දී අධිකරණයට තොරතුරු වාර්තා කරන්න කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා.

අධිකරණය කෙරෙහි පමණයි මගේ විශ්වාසය තියෙන්නේ. මම හෙට දිනයේ ගරු අධිකරණයට මේ සීසීටීවී දර්ශන ඉදිරිපත් කරලා මම උසාවියට ඉදිරිපත් වෙලා. මගේ නිර්දෝෂී භාවය නිවැරැදි භාවය ඔප්පු කරන්න කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon