ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7 වැනිදා?

  👤  2076 readers have read this article !
By mawbima 2018-12-07

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ලබන වසරේ පෙබරවාරි මස 7 වැනි දින ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දින නියම කර තිබුණද මතුවී ඇති තත්ත්වය මත එම නිලවරණය දින නියමයක් නොමැතිව කල් යෑමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

ශේ්‍රෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් අනුව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යයන් අත්හිටුවා ඇති හෙයින් පෙබරවාරි මාසයේ මුල් සතියේදී පැවැත්වීමට දින නියම කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙම මස 14 සිට 17 දක්වා නාමයෝජනා භාරගැනීමටත් මෙම මස 17 වැනිදා සවස 4.00ට නාමයෝජනා විවෘත කිරීමටත්, ලබන වසරේ ජනවාරි 1 සහ 2 වැනිදා විරෝධතා භාරගැනීමටත් ජනවාරි 14 වැනිදා විරෝධතා විභාග කර නම් ප්‍රකාශ කිරීමට මෙන්ම ජනවාරි 21 වැනිදා ඡන්දය භාවිත කරන පුද්ගලයන්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කිරීමටත්, පෙබරවාරි 7 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත් නිලවරණය කමිටුව විසින් තීන්දු කර ඇතැයි පැවැසේ.

මේ අතර නිලවරණ දින වකවානු ප්‍රකාශයට පත්කිරීමට පෙර ඡන්ද හිමි ක්‍රීඩා සමාජවල නාමලේඛනය සඳහා ඉදිරිපත්ව තිබූ විරෝධතා 4ක් නිලවරණ කමිටුව විසින් විභාග කළ අතර, ඉන් ඇතැම් ක්‍රීඩා සමාජවලට ඡන්ද අයිතිය ලබා නොදීමටත් තීරණය කර තිබේ. තමන් විසින් ලබා දුන් තීන්දුව පිළිනොගන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිපත් කරන ලෙසද නිලවරණය කමිටුව අදාළ ක්‍රීඩා සමාජවලට දැනුම් දී ඇත.
එහිදී කළුතර කායවර්ධන කවය, වෙන්නප්පුව ක්‍ෂේවියර්රයිට්ස් සහ දකුණු පළාත් ක්‍රිකට් සංගමය යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සාමාජිකත්වය හිමි ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම්වල ඡන්දය භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව මෝදර ක්‍රීඩා සමාජය විසින් විරෝධතා දක්වා තිබේ.

මෙයට අමතරව ඕල්ඩ් ධර්මපාලියන් ක්‍රීඩා සමාජයේ වත්මන් අනුශාසකයකු වන ටී.කේ. පාලිත මහතා විසින් එම සංගමයේ ඡන්දය භාවිත කරන පුද්ගලයාට එරෙහිව විරෝධතාවක් ගොනුකර ඇතැයිද දැනගන්නට ඇත.
තවද දකුණු පළාත් ක්‍රිකට් සංගමය ඇතුළු අනෙකුත් සංගම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇතත්, එය තවමත් විසඳී නොමැත. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පසුගිය මස 30 වැනිදා අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, මෙතෙක් එම අභියාචනා විමර්ශනය කිරීමට පියවර ගෙන නොමැත.

ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසිවලට අනුව එසේ ලැබුණු අභියාචනයක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සලකා බැලීමෙන් අනතුරුව ශේ්‍රෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ප්‍රමුඛ තිදෙනකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයකට ඉදිරිපත් කළ යුතු අතර, එක් එක් කමිටුව විසින් සමාලෝචනය පිණිස ලද එකී අභියාචනා පිළිබඳ තමන් වෙත අභියාචනා ලැබුණු දින සිට දින 7ක් ඇතුළත් ක්‍රීඩා විෂය භාර ඇමැතිවරයා වෙත දැනුම් දිය යුතුය. මේ හේතුවෙන් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යයන් අත්හිටුවා ඇති හෙයින් අදාළ අභියාචනා ඉදිරිපත් කළ ක්‍රීඩා සමාජවලට බලවත් අසාධාරණයක් සිදුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon