14 වැනි ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලිය ජර්මනියට නොකඩවා දෙවැනි ජයත්

  👤  2060 readers have read this article !
By mawbima 2018-12-07

ඉන්දියාවේදී පැවැත්වෙන 14 වැනි ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ පෙරේදා (5දා) පැවැති මූලික වටයේ තරගයකදී නෙදර්ලන්තය පරදවා ගෝල 4-1ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ජර්මන් කණ්ඩායම සමත් වූයේ මෙම තරගාවලියේ ජර්මන් කණ්ඩායම නොකඩවා ලබා ගත් දෙවැනි ජයත් සටහන් කරමිනි.

එම තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කිහිප වරක් ප්‍රතිවාදී දැල ආක්‍රමණය කිරීමේ උත්සාහයක නිරත වුවද තරගයේ 13 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත ක්‍රීඩක වැලන්ටින් වේගා විසින් ගෝලයක් වාර්තා කරගන්නා ලද්දේ නෙදර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වාලමිනි. කෙසේ වෙතත් තරගයේ 30 වැනි මිනිත්තුවේදී ජර්මන් ක්‍රීඩක මතියස් මුලර් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගෙන සම තත්වයෙන් පසුවිය.

කෙසේ වෙතත් තරගයේ 52 වැනි මිනිත්තුවේදී ජර්මන් ක්‍රීඩක ලූකස් වින්ඩ්ෆෙඩර් තම කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර 54 වැනි මිනිත්තුවේදී මාකෝ මිල්ටෙකූ ජර්මනිය වෙනුවෙන් තුන්වැනි ගෝලය ද වාර්තා කරගනිමින් නෙදර්ලන්තයට දැඩි පීඩනයක් එල්ල කළේය. ඉන් අනතුරුව ක්‍රිස්ටෝපර් රූර් එම තරගයේ 58 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ජර්මනියේ 4 වැනි ගෝලයත් වාර්තා කළේය. ඒ අනුව ගෝල 4-1ක ජයක් හිමි කර ගැනීමට ජර්මනිය සමත් වූ අතර ජර්මනියේ ෆ්ලොරියන් ෆුච් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

මැලේසියාව සහ පාකිස්තානය අතර එදින පැවැති 'ඩී' කාණ්ඩයේ අනෙක් තරගය ගෝල 1-1ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් විය.

මේ අතර පසුගියදා (4දා) පැවැති 'බී' කාණ්ඩයේ මූලික වටයේ තරගයකදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක ජයක් වාර්තා කළ හිටපු ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

නෙදර්ලන්තය සහ ජර්මනිය අතර
තරගයේ අවස්ථාවක්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon