නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් ආරම්භයේදී ජයග්‍රහණ වාර්තා කරයි

  👤  2077 readers have read this article !
By mawbima 2018-12-07

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන නැඟී එන ආසියානු කණ්ඩායම් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (6දා) පැවැති තරගවලදී පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය.

පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හොංකොං කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 366ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ශහීබ්සාඩා ෆරාන් ලකුණු 130ක් සහ අලී ඉම්රාන් ලකුණු 107ක් ලබා ගත් අතර කුෂ්ඩිල් සාහා ලකුණු 83ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය හොං කොං කණ්ඩායමට පන්දුවාර 34කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. ඒ අනුව ලකුණු 225ක ජයක් පාකිස්තානයට හිමි විය.

මේ අතර ඊයේ (6දා) කරච්චි නුවර සදර්න් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවාර 49යි පන්දු 4කදී සියල්ලන් දැවී ලකුණු 267ක් ලබා ගැනීමට සමත් විය. එහිදී අෂ්ෆාක් අහමඩ් ලකුණු 98ක්, ගුලාම් ෂබර් ලකුණු 52ක් සහ එම කණ්ඩායමේ නායක රොහාන් මුස්තාෆා ලකුණු 40ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් සහ ඛලීඩ් අහමඩ් කඩුලු 3ක් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවීගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණි. ඒ අනුව එම තරගයෙන් ලකුණු 97ක ජයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමි විය.
මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහභාගි වන පළමු තරගය ඕමාන නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාගණයේදී අද පෙරවරු 9.45ට ආරම්භ වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon