පෙත්සම්කාර පාර්ශ්වයන් විදෙස් කුමන්ත්‍රණවලින් රට අරාජික කරන්න

  👤  2077 readers have read this article !
By mawbima 2018-12-07

කමල් මහේන්ද්‍ර වීරරත්න

රජයේ පරිපාලනමය ක්‍රියාවක් හේතුවෙන් තමන්ට සිදු වූ හානියක් සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට ලබා ගැනීම පිණිස වූ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, මෙම පෙත්සම් ඉදිරිපත් කොට ඇති දේශපාලනඥයන්ගේ සැබෑ අරමුණ වන්නේ අධිකරණය නොමඟ යවා ලබාගන්නා නියෝග මඟින් රට අස්ථාවර කොට විදේශ මැදිහත්වීමක් හරහා තම බලය තහවුරු කර ගැනීම බැව්, ඊයේ (6දා) ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සත් පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටි අතර ඉන් අනතුරුව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද එම ප්‍රකාශය තහවුරු කර සිටියේය. ඔවුන් එලෙස ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ගන්නා ලද පියවරට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් පිළිබඳ විභාගයේදීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් ඉහත පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම සඳහා ගොනු කරන ලද මැදිහත්කාර පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එම කරුණු මෙසේ ප්‍රකාශ කළේය.

අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වූ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ මහත්වරුන් හා මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන්ද මෙම සත්පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය සමන්විතය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගැනීම මඟින් ජනාධිපතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබ ඇතැයි පවසමින් මෙම පෙත්සම් ගොනු කොට ඇත.
ඒවා ගොනු කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් එහි සභාපති කබීර් හෂීම් හා ලේකම් අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්. සම්පන්දන් හා එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, මැතිවරණ කොමිසමේ එ.ජා.ප. නියෝජනය කරන රත්නජීවන් හුල්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු යනාදීන් විසිනි.

එකී පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය ජගත් වැලිවත්තගේ, වෛද්‍ය සිසිර සේන ද සිල්වා, නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත යනාදීන් විසින් මැදිහත්කාර පෙත්සම් ගොනුකොට ඇත.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් සියල්ල නොවැම්බර් මස 12 හා 13 යන දෙදින තුළ මූලිකව විමසුමට ලක්වූ අතර එකී පෙත්සම් විභාගයට ගැනීම ස¼දහා එම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අවසර ලබා දෙමින් එසේම පෙත්සම් මඟින් ඉල්ලා සිටි අතුරු සහනයක් ද ලබා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා මහ මැතිවරණයක් පැවැත්වීමේ ජනාධිපති නියෝගය ක්‍රියාත්මක වීම මේ මස 07 වැනි දින දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

තවද එහිදී (ඉකුත් 13 වැනි දින) මෙම පෙත්සම් සියල්ල දෙසැම්බර් 04, 05 හා 06 යන දින 03 තුළ විභාග කොට අවසන් තීන්දුව ලබා දීමටද දින නියම කරනු ලැබීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එම තීරණය පිළිගත නොහැකි බවත් ඉන් සෑහීමකට පත් නොවන බවත් පවසමින් අගවිනිසුරුවරයා වෙත ඊට පසු දිනම (14දා) මෝසමක් ගොනු කළ මැදිහත්කාර පෙත්සම් පාර්ශ්වය ඉල්ලා සිටියේ මෙය ව්‍යවස්ථාව හා සම්බන්ධිත සුවිශේෂී කරුණක් මෙන්ම සමස්ත රට වැසියනටම සෘජුවම බරපතළ ලෙස බලපෑමක් සිදුකරන ජාතික ගැටලුවක් ද බැවින් මෙය සුවිශේෂ කරුණක් සේ සලකා පස් දෙනකුට නොඅඩු පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට පියවර ගන්නා ලෙසය.

එකී ඉල්ලීම් පිළිගනිමින් පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදුකිරීමට අගවිනිසුරුවරයා තීරණය කොට ඇති බැව් "මව්බිම" 20 වැනිදා මුල් පිටුවේම පළවූ පුවතින් රටට හෙළි කරනු ලැබීය.
එහිදී පත්කරන ලද අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ තෙවැනි දිනටත් (6දා) ඊයේ පැවැති පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා මෙසේද කියා සිටියේය.

'පෙර දිනයේ පැවැති මෙම පෙත්සම් විභාගයේදී රජයේ නීතිපතිවරයා වන ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විසින් ඉතාමත්ම සවිස්තරව ඉදිරිපත් කරන ලද සියලුම කරුණු සමඟ මා එකඟ වෙනවා. එපමණක් නොවේ එකී සියල්ල මා අනුමත කරනවා.

ජනාධිපතිවරයා සතුව ඇති බලතල ඉවත් කොට විධායකයේ ඒ සියලු බලතල අගමැතිවරයා වෙත උපක්‍රමශීලී ලෙස ලබා ගැනීමට 'ගහපු ගැටය' හැටියටයි මා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දකින්නේ.

අගමැතිවරයාගේ හිතුමනාපයට සියලු කටයුතු සිදු කළ හැකි ආකාරයට ඊට බාධා වන වගන්ති ඉවත් කරන්නටයි 19 වැනි සංශෝධනය කෙටුම්පත් කොට ඇත්තේ. විශේෂයෙන්ම රට දෙකට තුනට කඩන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගන්නටත්, තම විදේශ ගැති ප්‍රතිපත්තිය හිතේ හැටියට ක්‍රියාත්මක කොට විදේශිකයන්ගේ කෙළි බිමක් බවට මේ රට පත්කරන්නටත්, අවශ්‍ය පසුබිම සකස් කර ගන්නා අතරේම, ඊට විරුද්ධ වී රට තුළ විරෝධතාවන් මතු වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ හැකි නිසා එය වළකාලීමට 70 වැනි වගන්තියේ 'බී' හා 'සී' යන අනු වගන්තීන් ඉවත් කර තිබෙනවා.

හැබැයි මේ රට ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන්දෝ ව්‍යවස්ථා සංශෝධනයට සහභාගි වූ ව්‍යවස්ථා සම්පාදකයන් අතින් ඉතාමත්ම යහපත් දෙයක් සිදුව තිබෙනවා. ඒ නිසා එකී ව්‍යවස්ථා සම්පාදකයන් 'රටට ආදරය ඇති හොඳ අය' කියා පිළිගන්න සිදුවෙනවා.

මොන මොන කෑලි ගැලෙව්වත් 33(2) ගලවන්න බැරි වෙලා තිබෙනවා. ඒක භාවිත කරලා තමයි ජනාධිපතිවරයා රට මුහුණ පා සිටි හා මුහුණ පාමින් සිටි භයංකාර තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර රැගෙන ඇත්තේ.

විදෙස් කුමන්ත්‍රණ

33 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාව මඟින් ප්‍රකාශිතවම සඳහන් කොට ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනින් වෙන යම් කුමන හෝ ලිඛිත නීතියකින් ප්‍රකාශිතව ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ බලයට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිවරයාට හිමිවන බවය.

මේ ප්‍රතිපාදනය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ එම බලය ක්‍රියාත්මක කළයුතු ආකාරය කුමක්ද යන්න ගරු ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා විමසා සිටියා. ඒ පිළිබඳව මෙම වගන්තියේ සඳහනක් නොමැති බවද විමසා සිටියා.

ඔව්, එම වගන්තිය තුළ ඒ පිළිබඳව කිසිදු සඳහනක් නැති බව සැබෑවක්. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී අනුගමනය කළයුතු ක්‍රියා මාර්ගය අන් තැනෙක සඳහන් වෙනවා.

ඒ පිළිබඳව සටහන් වන්නේ 70 ව්‍යවස්ථාව තුළයි. එම ව්‍යවස්ථාවේ 3 වැනි අනු ව්‍යවස්ථාව යටතේ උප වගන්ති 2 හා 3 මඟින් ප්‍රකාශිතව ඇත්තේ පාර්ලිමේන්තුව කල්තැබීම වාරාවසාන කිරීම හා විසුරුවා හැරීම පිළිබඳවයි.
එම 2 වැනි උප වගන්තියේ 1 වැනි අනු ව්‍යවස්ථාව මඟින් සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි.

'පාර්ලිමේන්තුවේ වාරාවසාන කොට ඇති කවර හෝ අවස්ථාවකදී මෙම ව්‍යවස්ථාවෙහි ප්‍රකාශිතවම සඳහන් කොට ඇති අනෙකුත් විධිවිධානයන්ට අමතරව, ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරනු ලබන ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවැරී ඇත්තේය' වශයෙන් එහි සඳහන්ව තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ එවැනිම පාර්ලිමේන්තුව වාරාවසාන කොට පැවැති අවස්ථාවකදීයි.

නොවැම්බර් මස 09 වැනිදායි, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ 'වාරාවසාන කිරීමේ' නිවේදනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ. එහි වලංගුභාවය පිළිබ¼දව කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කිසිම අයකු ඒ පිළිබඳව කිසිදු ආකාරයකින් අභියෝග කිරීමක්ද සිදු කර නැහැ. එබැවින් මෙම විසුරුවා හැරීම සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ කිසිවකුටත් අභියෝග කිරීමේ හැකියාවක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙන කුමන ලිඛිත නීතියක් මඟින් හෝ නියම කර ඇත්තා වූ බලතලවලට 'අමතරව' මෙම බලය ජනාධිපතිවරයාට එකී වගන්තිය තුළින් පවරා තිබියදී පෙත්සම්කරුවන් සිදු කර ඇත්තේ අධිකරණය නොමඟ යවමින් තම කුමන්ත්‍රණකාරී අරමුණක් ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වීමයි.

මෙම පෙත්සම් සියල්ල ගොනුකොට ඇත්තේ ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති දේශපාලන පක්ෂවල නායක කාරකාදීන් හා ඔවුන් සමඟ හවුලේ ක්‍රියාත්මක වන අනෙකුත් කණ්ඩායම් විසිනුයි.

මැතිවරණයක් තැබුවහොත් ඔවුන්ට අත්වන ඉරණම ගැන ඔවුන් හො¼දාකාරවම දන්නා නිසා වෙනත් උප්පරවැට්ටියක් මඟින් බලයේ රැඳී සිටීමටයි ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ.

ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ විදේශ බලහත්කාරී මැදිහත්වීමක් මඟින් වෙනත් ඇතැම් රටවල සිදු වූ ආකාරයෙන් මේ රට තුළද විදේශ මැදිහත්වීමකට ඉඩකඩ සලසා දී එමඟින් ඔවුන් හරහා බලයේ රැඳී සිටීමටයි.

ස්වාමිනී! මෙහි බරපතළම ප්‍රශ්නය වන්නේ ඒ දුෂ්ට කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන රට අස්ථාවර කොට අරාජික කිරීමේ ක්‍රියාවලියට මොවුන් අධිකරණය භාවිත කිරීමට පෙලඹී තිබීමයි.

වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණය නොමඟ යවා මේ වන විටත් අගමැති හා ඇමැති මණ්ඩලය අක්‍රිය කිරීමට අතුරු නියෝගයක් ලබා ගැනීමට මෙම පිරිස සමත්වී සිටිනවා.

රටේ උත්තරීතරම ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණයද ඔවුන් ඒ ආකාරයෙන්ම නොමඟ යවා නියෝගයක් ලබාගෙන රටේ 'මහජන මතය' හෙවත් 'ජනතා පරමාධිපත්‍යය' වන
ඔවුන්ගේ 'සර්වජන ඡන්ද බලය' භාවිත කිරීමට පවා තහංචි දැමීමේ උත්සාහයකයි මේ යෙදී සිටින්නේ.
'ශේ‍ර්ෂ්ඨාධිකරණය' යනු රටේ ජනතාවගේ අයිතිය, යුක්තිය, රැකදෙමින් ජනතාවගේ 'ස්වාධිපත්‍යය බලය' ආරක්ෂා කිරීමේ පරම වගකීම දරන රටේ 'අති උත්තරීතර' ආයතනයයි.

මෙම ඉතාමත්ම භයානක 'කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය' මඟින් සිදු කිරීමට යන මහා විනාශය වළක්වා මෙම පෙත්සම්කාර දේශපාලනඥයන්ගේ කූට ප්‍රයන්තය පරාජය කිරීමට උත්තරීතර ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පූර්ණ පිහිට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඒකයි. අප ගරු අගවිනිසුරුතුමන්ගේ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේම මෙය විභාග කරන ලෙස ඉල්ලා සිටියේ.

එම පැතුම එලෙසින්ම ඉටුවනු ඇතැයි යන දෘඪ බලාපොරොත්තුවෙන් අද සමස්ත ජනතාවම (අතළොස්සක් හැර) බලා සිටිනවා.'
මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය ජයත් වැල්ලවත්තගේ ඇතුළු මැදිහත්කාර පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, නවීන් මාරපන, ජනාධිපති නීතිඥ එම්.යූ. එම්. අලි සබ්රි ඇතුළු නීතිඥවරුන් දිගින් දිගටම කරුණු දක්වමින් කියා සිටියේ කුමන්ත්‍රණකාරී අරමුණක් ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම් ඉවත දමන ලෙසයි.

වැඩිදුර පෙත්සම් විභාගය අද (7දා) උදේ 10.00ට ආරම්භ වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon