රනිල්ගේ ආණ්ඩුව පෙරළන අපි තමයි නියම වම

  👤  2642 readers have read this article !
By mawbima 2018-12-18

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් ගෙන යන සටන ප්‍රබල කිරීමට ජනතාවත් පාර්ලිමේන්තුවත්, අධිකරණයත් තෝතැන්නක් කර ගන්නා බවත් ආණ්ඩු බලය එ.ජා.ප.ය අතේ මේ වන විට පැවැතියද රාජ්‍ය බලය පවතින්නේ එ.ජා.ප.ය අතේ නොවන බව ජනාධිපතිවරයා සහතික කර ඇතැයිද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ඇති බලයත් සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලයත් නිසා එ.ජා.ප.ය රටට හා ජනතාවට විරුද්ධව ගෙන එනු ලබන සියලුම යෝජනා පරාජය කරන බවද හෙතෙම පැවැසීය.

ඊයේ (17දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසූහ.

නානායක්කාර මහතා මෙසේද කීවේය.

දින ගණනාවක් පැවතුණා යැයි කියන මේ ඊනියා ව්‍යවස්ථා අර්බුදය කුමක්ද කියා අප හඳුනා ගත යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එක්ව අප හැදුවේ මහ මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කිරීමටයි. නමුත් අනෙක් පැත්තෙන් අපි දැක්කේ එ.ජා.ප.ය, ටී.එන්.ඒ. සහ ජ.වි.පෙ. එක්ව කළ බල පොරයකුයි. අපට අඩියක් පස්සට ගන්නට සිදුවෙලා තිබෙනවා. පෙබරවාරි 10 වැනිදා ලැබුණු ජනතා තීන්දුවත් සමඟ මේ පාර්ලිමේන්තුවේ තිබෙන විකෘති සංයුතිය වෙනස් කිරීමට මේ රටේ ජනතාව කැමැත්තෙන් සිටියා. මේ විකෘති සංයුතිය රැකගෙන රනිල්ගේ බලයත් රැක ගන්නයි මොවුන් සැරසුණේ. මොන තර්ක දැම්මත් ජනතා විමුක්ති පෙරමුණට තමන් ඉටු කරපු බැලමෙහෙවර සහ අපකීර්තිමත් සලකුණු මකන්නට බැහැ.

අධිකරණ තීන්දුව නිසා අපේ බලවේගවලට පසුබසින්නට සිදුවුණා. අපි එම අධිකරණ තීන්දුව අනුමත කරන්නෙවත් නිවැරැදි විදියට පිළිගන්නේවත් නැහැ. මේ රටේ දැන් තිබෙන විකෘති පාර්ලිමේන්තු සංයුතිය නිසා ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවෙලයි තිබෙන්නේ. අප ගත්තේ රට වෙනුවෙන් තීන්දුවකුයි. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණේ.

තිස්ස විතාරණ මහතා,

අපි සමාජවාදී ජනතා පෙරමුණ විදියට කියනවා අපි තමයි නියම වම කියලා. අපි මේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. මේ ආණ්ඩුවේ වැරැදි ගමන නතර කරනවා. ඡන්දයේදී ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, ජයත් ශ්‍රී බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon