68 වැනි වරටත් ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීම විදුලි බල මණ්ඩලයෙන්

  👤  693 readers have read this article !
By mawbima 2018-12-18

හැටන් - චන්න අද්දරගේ

මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදී 68 වැනි වරටත් ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීම සඳහා සද්කාර්යයක් ලෙස නොමිලේ විදුලි සැපයුම ලබාදීම සඳහා මේ වන විටත් සූදානම් කර ඇති බව මස්කෙළිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා පැවැසීය.

නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ මෝහිණී දිය ඇල්ල අසල සිට ශ්‍රී පාද උඩමළුව දක්වා විදුලි ලාම්පු 500කට අධික ප්‍රමාණයක් වන්දනාකරුවන්ගේ පහසුව තකා සවිකර ඇති බව පවසන විදුලි අධිකාරිවරයා, විදුලි බල මණ්ඩලයේ සබරගමුව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් මත රත්නපුර, කුරුවිට හා එරත්න මාර්ගයෙන්ද ශ්‍රී පාදස්ථානය දක්වා විදුලි ලාම්පු 1000කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවත් කීය.

නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ හා රත්නපුර - කුරුවිට හා එරත්න මාර්ගයේ පිහිටා ඇති සියලුම රාජ්‍ය ආයතන සඳහාද වන්දනා සමය තුළදී නොමිලේ විදුලිය සැපැයීම වසර 68ක කාලයක් තිස්සේ සිදු කරන බව විදුලි අධිකාරි අරෝෂ මහතා පවසයි.

ලක්‍ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්‍ෂපාන විදුලි බලාගාරය ඉදිකිරීමේදී 1935දී උමං මාර්ගයක සිදුවූ හදිසි අනතුරකදී එහි සේවයේ යෙදී සිටි පිරිසක් මිය යෑමෙන් අනතුරුව ඉදිකිරීම් භාරව සිටි ඉන්ජිනේරුවන් විසින් ලක්‍ෂපාන ජල විදුලි බලාගාරයට සම්බන්ධ සියලු ඉදිකිරීම් කටයුතු අනතුරකින් තොරව සාර්ථකව නිම කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින්, ලක්‍ෂපාන විදුලි බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය ආරම්භ කළ මොහොතේ සිට ශ්‍රී පාදස්ථානය වෙත වන්දනා සමයේදී විදුලි සැපයුම සද්කාර්යයක් ලෙස නොමිලේ සැපයීම සඳහා ශ්‍රී පාදස්ථානයේ පිහිටි සමන් දේවාලයට වූ බාරය අනුව අඛණ්ඩව වසර 68ක් තිස්සේ විදුලි සැපයුම විදුලිබල මණ්ඩලය මඟින් ලබා දීම සිදු කරන බව මස්කෙළිය විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා පැවැසීය. නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ හා රත්නපුර, කුරුවිට - ශ්‍රී පාද මාර්ගයේ නඩත්තු වැඩ කණ්ඩායම් 04ක් මඟින් වන්දනා සමයේදී සමස්ත විදුලි රැහැන් පද්ධතිය ආවරණය වන පරිදි අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සඳහා දිවා රාත්‍රි සේවා කටයුතුවල නිරතව සිටින බව විදුලි අධිකාරිවරයා වැඩිදුරටත් කීය.

විදුලිබල මණ්ඩලයේ, මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතාගේ උපදෙස් පරිදි ගිනිගත්හේන ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු ඩී.එම්.ඩබ්.පී.එම්. දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මස්කෙළිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් මෙම විදුලි සැපයුම් ශ්‍රී පාද වන්දනා සමය පුරා ක්‍රියාත්මක වේ. මෙවර ශ්‍රී පාද වන්දනා සමය (2018/2019) උඳුවප් පුන් පෝය (22දා) දිනයෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon