නවසීලන්තයේදී එක් ජයග්‍රහණයක් හෝ සොයා යන ශ්‍රී ලංකාවට එකම විස්සයි-20 තරගය අදයි

  👤  2573 readers have read this article !
By mawbima 2019-01-11

මේ වනවිට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන එකම විස්සයි-20 තරගය අද (11දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න්පාර්ක් පිටියේදී ආරම්භවීමට නියමිතව ඇත්තේ දෙරට අතර පැවැත්වෙන 16 වැනි විස්සයි-20 තරගය ලෙසිනි.

දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය හා එක්දින තරගාවලිය අන්ත පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන විස්සයි-20 තරගය හෝ ජයගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින නමුත් ටෙස්ට්, හා එක්දින තරගාවලි දෙකම ජයගෙන සිටින නවසීලන්ත කණ්ඩායම මෙම තරගයද ජයගෙන ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට වෙර දරනු ඇත.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර මේ වනවිට පවත්වා ඇති විස්සයි-20 තරග 15දී තරග 7ක ජය නවසීලන්තයටත්, තරග 6ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව ඇති අතර, එක් තරගයක් සම වී හා එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව තවමත් නවසීලන්තයේදී නවසීලන්තය සමඟ විස්සයි-20 තරගාවලියක් 1-1ක් ලෙස (2006 වසරේදී) සමකරගෙන ඇති නමුත් තරගාවලියක් ජයගෙන නොමැති අතර, අවසන් වරට නවසීලන්තයේදී පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගැනීමට සමත්ව තිබිණි. වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත මෙම ඊඩ්න්පාර්ක් තණතීරුවේදී ශ්‍රී ලංකාව තරග දෙකකට සහභාගි වී ඇති නමුත් එම තරග දෙකම පරාජය වී ඇති අතර, පරාජය වී ඇති තරග දෙකෙන් එක් තරගයක හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට නොහැකි වී තිබීමද කැපී පෙනේ.

කෙසේ වෙතත් අද තරගය සඳහා එක්දින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති නමුත් සධීර සමරවික්‍රමට හෝ කසුන් රාජිත කණ්ඩායමට එක්කර ගැනීමේ වැඩි ඉඩක් ඇති බවද පැවැසේ.

තවද ටෙස්ට් හා එක්දින තරගාවලියේදී නවසීලන්තයේ නායකත්වය හෙබ වූ කේන් විලියම්සන් මෙන්ම ජේම්ස් නීෂම් අද තරගයේදී විවේක ගන්වා ඇති අතර, කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ටිම් සවුතිටය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරග 5න් 4ක්ම පරාජය වී ඇති අතර, නවසීලන්තයද අවසන් වරට සහභාගි වූ තරග පහම පරාජය වී තිබීමද විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති තෙවැනි එක්දින තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක අද පැවැත්වෙන විස්සයි-20 සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ එවූ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබේ.

අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම _ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, තිසර පෙරේරා, දසුන් ශානක, සධීර සමරවික්‍රම, කසුන් රාජිත, සික්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, ලක්‍ෂාන් සඳකැන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon