පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහල උඩ උපවාස කළ එක්දරු පියා හා අනුබල දුන් පළාත් සභා මන්ත්‍රි 23දා දක්වා රිමාන්ඩ්

  👤  2553 readers have read this article !
By mawbima 2019-01-11

මතුගම - වසන්ත කුමාර

පාලින්දනුවර ගම් උදාවෙන් නිවෙසක් ඉල්ලා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහලය මත උපවාස කළ එක්දරු පියා සහ ඊට අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මතුගම මහෙස්ත්‍රාත්වරිය පසුගිය 9දා නියෝග කළාය.

පාලින්දනුවර ගලහිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියක් සඳහා එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුජීව හේමපාල නමැත්තා තම නම ඊට ඇතුළත් නොකළැයි විරෝධය දක්වා පසුගිය 9දා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙමහල් වහලය මතට තම හත් හැවිරිදි දියණියද රැගෙන ගොස් ඉතා අනතුරුදායක ලෙස හැසිරෙමින් විරෝධතාව දැක්වූහ.

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් එස්. නිමන්ත මහතා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ බදුරලිය පොලිස් ස්ථානාධිපතිතුමා සාකච්ඡා කර අදාළ ව්‍යාපෘතියට ඔහුගේ නම ඇතුළත් කරන බවට ලිඛිත ප්‍රකාශයක් ඔහුගේ බිරිය අත වහලය මතට යැව්වද උපවාසකරු ඊට එකඟ නොවීය.

මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරයා කීවේ මෙය නිවාස සංවර්ධන අධිකාරියේ කටයුත්තක් බවත් ඒ අනුව එහි දෙවැනි අදියරයට ඔහුගේ නම ඇතුළත් කර ඇති බවය. නමුත් මේ පිළිබඳ සොයා බලා පළමු වටයේදීම අවස්ථාව ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු එකඟ වූ බවත් මෙය උපවාස කිරීමට කරුණක් නොවූ බවය.

මෙම උපවාසය පැවැති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ප්‍රියන්ත බෙල්ලන මහතා උපවාසකරුට ආධාර අනුබල දීම සහ පොලිසියේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාවලට අත්අඩංගුවට ගෙන ඇත.

උපවාසකරු කුඩා දරුවකුගේ ජීවිතය අනතුරේ දමමින් කටයුතු කිරීමට එරෙහිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වනිගතුංග මහතාගෙන් විමසූවිට ඔහු කීවේ මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත තොරතුරු ලබාදී ඇති නිසා ඔහුගෙන් විමසන ලෙසය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon